නිවසට ගෙනා දේහය කොවිඩ් කියා නැවත රැගෙන යයි

0
Covid Death Body Incident in Okkampitiya - නිවසට ගෙනා දේහය කොවිඩ් කියා නැවත රැගෙන යයි

රෝහල් ගතව සිටියදී මියගිය කාන්තාවකගේ සිරුරක් අවසන් කටයුතු සඳහා නිවැසියන් වෙත මුදාහැර පැය කිහිපයකට පසුව එම කාන්තාවට කොවිඩ් ආසාදිතව තිබු බවට සඳහන් කරමින් රෝහල් බලධාරීන් නිවසට පැමිණ දේහය රැගෙන යාමේ පුවතක් බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මිණිපුරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑ හතක් වන කාන්තාවක් මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ දී පසුගිය දා මියගොස් තිබෙනවා.

එසේ මියගිය කාන්තාවගේ මල සිරුර අවසන් කටයුතු කිරීම සදහා පවුලේ සමාජිකයින් වෙත රෝහලෙන් නිදහස් කර තිබු අතර පසුව මල සිරුර අවමංගල්‍ය ශාලාවක් වෙත රැගෙනවිත් සකස් කර නිවස වෙත මල සිරුර රැගෙනවිත් අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබුණා.

ඉන් පැය කිහිපයකට පසු රෝහලේ බලධාරීන් විසින් එම මියගිය කාන්තාවගේ පවුලේ සමාජිකයින් වෙත මෙම මරණය කොවිඩ් ආසාදිතව සිදු වූ මරණයක් බවට දැනුම් දී සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණ නිවසේ තැන්පත් කර තිබූ දේහය නිරෝධායන නීති අනුව අවසන් කටයුතු කිරීම සදහා රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී නිවැසියන් දැඩිලෙස අසරණ වී ඇති අතර ඒ වන විටත් මෙම අවමංගල්‍ය නිවස වෙත පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් සහභාගි වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සෞඛ්‍ය අංශ විසින් අවමංගල්‍ය නිවසේ සිටි පුද්ගලයන් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති අතර මෙම සිදුවීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.