කොට්ටාවේදී අනතුරට ලක්වූ බවුසර් රථයක් ගිනිගනී

0
කොට්ටාවේදී අනතුරට ලක්වූ බවුසර් රථයක්, ගිනිගනී
කොට්ටාව – අතුරුගිරිය මාර්ගයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ අනතුරට ප්‍රදේශයේ විදුලි සැපයුම අඩාල වී තිබූ අතර, දුරකථන පද්ධතියට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිමෙන්ති ප්‍රවාහනය කරන බවුසර් රථයක් කොට්ටාව – අතුරුගිරිය මාර්ගයේ අඟහරුවාදා පොළ ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත තාප්ප දෙකක් හා අධිබලැති විදුලි කණුවක් කඩාගෙන ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

බවුසර් රථය අධිබලැති විදුලි කණුවේ ගැටීමෙන් පසුව විදුලි කණුව හා විදුලි රැහැන් බවුසර් රථයේ ඉදිරිපස කොටස මතට වැටීමෙන් එම කොටසට විදුලිසැර වැදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් කැඳවා ඇති අතර, එම අවස්ථාවේදී බවුසර් රථයේ ගමන් ගත් රියැදුරු සහ සහායකයා ඉන් පැන දිවි බේරාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.