කොදෙව්වන්ට එරෙහි තරගයෙන් ලංකාවට සුපිරි ජයක්

0
SL vs WI T20 in ICC World Cup - කොදෙව්වන්ට එරෙහි තරගයෙන් ලංකාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (04) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ අබුඩාබිහිදීයි.

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන අවසන් තරගය වූ මෙම තරගය ඊයේ ශ්‍රි ලංකා වේලාවෙන් සවස හතයි තිහට ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගත් ආරම්භක පිතිකරු කුසල් ජනිත් දැවී ගියේ ලකුණු 29ක් ලබා සිටියදී.

ඉන් පසුව පිටියේ සිටි පැතුම් නිස්සංක සමග එක්වූ චරිත් අසලංක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් නිදහසේ ලකුණු රැස් කරන්නට පටන් ගත්තා.

මේ දෙදෙනා පන්දුවාර 12ක් නිමා වන විට ලකුණු 100 සීමාව කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යන්නට සමත් වුණා.

අගනා පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක පළමුව අර්ධ ශතකය කරා ගමන් ගත් අතර ඔහුට ලකුණු 50 වාර්තා කිරීම සඳහා වැය වී තිබුණේ පන්දු 39ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 133ක් වෙද්දී පැතුම් නිස්සංක ලකුණු 51 කට දැවී ගියේ මේ දෙදෙනා අතර දෙවන කඩුල්ලට ගොඩනැගුනු ලකුණු 91ක සම්බන්ධතාවට තිත තබමින්.

පැතුම් නිස්සංක ලබාගත් ලකුණු 51 ඇතුළත හතරේ පහර 5ක් අන්තර්ගතව තිබුනා.

නිස්සංකගේ දැවී යාමෙන් පසුව සිය අර්ධ ශතකය වාර්තා කර ගත් චරිත් අසලංක ඒ සඳහා වැය කළේ පන්දු 33ක් පමණයි.

ඔහුගේ ලකුණු 50 ඇතුළත හතරේ පහර 6ක් අන්තර්ගතව තිබුණා.

බටහිර ඉන්දීය පන්දු යවන්නන් දඩයම් කිරීම අඛණ්ඩව සිදු කළ චරිත් අසලංක ලකුනු 68ට දැවී ගියේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩිම ලකුණු ලාභීන්ගේ ලයිස්තුවේ ප්‍රමුඛස්ථානයටත් පැමිණෙමින්.

අසලංකගේ ලකුණු 68 ඇතුළත හතරේ පහර 8ක් සහ හයේ පහරක් අන්තර්ගතව තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම් නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 189ක් නායක දසුන් ශානක නොදැවී ලකුණු 25යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 190ක ඉලක්කයක් හඹා යාම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ මුළු ලකුණු සංඛ්‍යාව එකක්ව තිබියදීයි.

බිනුර ප්‍රනාන්දු ගේ පන්දු හමුවේ ක්‍රිස් ගේල් එක් ලකුණකට දැවී යනවා.

අනතුරුව එම ඕවරයේ අවසන් පන්දුවේදී නැවතත් ක්‍රියාත්මක වන බිනුර ප්‍රනාන්දු එවින් ලුවිස් ලකුණු 8ට දවා ගත්තා.

ඉන් අනතුරුව චාමික කරුණාරත්නගේ පන්දු හමුවේ රොස්ටන් චේස් දැවී යනවා.

වේගවත් පිති ප්‍රහාරයක නිරත වූ නිකලස් පූරාන් ලකුණු 46 ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට දුෂ්මන්ත් චමීර කටයුතු කරන්නේ තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවමින්.

නිකලස් පූරාන්ගේ ලකුණු 46ට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් කර තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට ප්‍රබල වෙහෙසක් ගත් ෂිමොන් හෙට්මේයර් නොදැවී ලකුණු 80ක් රැස් කර ගත් අතර එයට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ඇතුළත් කර තිබුණා.

පන්දුවාර විස්ස පිටියේ බටහිර ඉන්දීය කොදෙව් දැවැන්තයින් වූ අන්ඩ්‍රේ රසල්, කිරන් පොලාඩ්, ජේසන් හෝල්ඩර්, ඩ්වේන් බ්‍රාවෝ ආදීන් ලකුණු 10 සීමාවට ළඟා වන්නටත් ප්‍රථම නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 190ක ඉලක්කය යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නියමිත පන්දුවාර 20 තුළදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට රස් කර ගත හැකි වූයේ කඩුලු අටක් බිඳවැටී ලකුණු 169ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් හිමි වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ වනිදු හසරංග ලකුණු 19 ක ට කඩුලු දෙකක් බිඳ දැමුවේ මෙවර ඔහුගේ ලෝක කුසලාන සමස්තථ කඩුලු සංඛ්‍යාව දාසයක් දක්වා ඉහළ නංවා ගනිමින්.

මීට අමතරව චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.