ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද

0
SL vs AUS T20 in ICC World Cup - ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද පැවැත්වෙනවා.

රාත්‍රි 07 යි 30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එය ආරම්භ වනු ඇති.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 තරග 16 ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරග 08 බැගින් ජයගෙන තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයට දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වු මහීෂ් තීක්ෂණ බංග්ලාදේශය සමග පැවති තරගයට ක්‍රීඩා කළේ නැහැ.

මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර ඊයේ පැවති තරගවලින් ජය අත්කරගැනීමට එංගලන්තය සහ නැමීබියාව සමත්වුණා.

බංග්ලාදේශයට එරෙහිව කඩුලූ 08 ක ජයක් අත්කර ගැනීමටයි එංගලන්ත කණ්ඩායම සමත්වූයේ.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලූ 09 ක් දැවී ලකුණු 124 ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් තුළ කඩුලූ 02 කට ලකුණු 126 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා.

නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර අද පැවැති තරගයෙන් ජය අත්කර ගැනීමට නැමීබියාව සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් කඩුලූ 08 ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 109 ක් රැස් කලා.

ලකුණු 110ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිළිතුරු ඉනිම ඇරඹූ නැමීබියානු කණ්ඩායම කඩුලූ 06 ක් දැවී පන්දුවාර 19 යි 01 ක් පන්දුවක් තුළ ලකුණු 115 ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කලා.