තම පුතු දෙමාපියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.
තමා සහ බිරිය උඩුමහලේ ජීවත් වන අතර ඊට නිවසේ පිටතින් ඇතුළුවීමට පඩිපේලියක් නැතැයි ද මව පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්රධාන දොරට අගුලු දමාගෙන සිටින බව ද එම තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවයි එම පුවත්පතේ සඳහන් වන්නේ.
තමාට සහ බිරියට නිවසින් එළියට යාම සඳහා ප්රධාන දොර විවෘත කර තබන්නැයි මව්පියන්ට බල කරන්නැයි ද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
30 හැවිරිදි මෙම තරුණයා උහන පදිංචිකරුවකු වන අතර කලක් විදේශගතව රැකියාවක් කළ අයකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයි ද සඳහන්.
මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක සමග මෙම තරුණයා විවාහ වී ඇත්තේ මව්පියන්ගේ දැඩි විරෝධය මැද්දෙයි.