නැවත දැනුම් දෙන තුරු ගෑස් නිකුත් කිරීම අත්හිටුවයි

0
නැවත දැනුම් දෙන තුරු වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම අත්හිටුවීමට රජය නියෝග කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනපුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම තාවකාලිකව නැවැත්වීමට රජය නියෝග කර තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය කියා සිටියේ ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති සිද්ධීන් පිළිබඳ සිදුකරන විමර්ශන අවසන් කර තීරණයක් ගන්නා තෙක් මෙලෙස ගෑස් බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ බවයි.

ඒ අනුව ගෑස් සමාගම්වෙතින් තොග බෙදාහැරීම මෙන්ම සිල්ලර අලෙවියද තාවකාලිකව අත්හිටුවන ලෙස ගෑස් සමාගම් වෙත දැනුම් දුන් බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු ඊයේ රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව අනාවරණ වුණා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා කියා සිටියේ ගෑස් අලෙවිය තාවකාලිකව අත්හිටුවන ලෙස මේ දක්වා කිසිඳු දැනුම්දීමක් තම සමාගම වෙත ලැබී නොමැති බවයි.