මියගිය දැරිය ගැන තමන් නොදන්නා බව රිෂාඩ් කියයි

0
Rishad Bathiudeen - මියගිය දැරිය ගැන තමන් නොදන්නා බව රිෂාඩ් කියයි
බාලවයස්කාර දැරියක පිලිස්සී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විශේෂ විමර්ශනයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් බව නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (09) දැනුම් දුන්නා.

එහිදී ‘”මෙම දැරිය පිළිබඳ තමා හරියාකාරව නොදන්නා බව” රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති දැරිය පිලිස්සී මියයෑමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම මස 07 වැනිදා රිෂාඩ් බදියුදීන්ගෙන් එම ප්‍රකාශය ලබාගෙන තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය වෙත දන්වා සිටියේ.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින රිෂාඩ් බදියුදීන්ගෙන් පොලිසිය එලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

ඉෂාලිනී දැරිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ දී මෙම කරුණු අනාවරණය විය.