ජාතික රෝහලේ සහ රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඉඩ නෑ

0
ජාතික රෝහලේ සහ රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඉඩ නෑ

කොවිඩ් රෝගීන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල් පිරී යමින් පවතින බැවින් ඇතැම් රෝහල්වලට රෝගීන් භාර ගැනීම නතර කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටු දහය මෙන්ම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු දහතුනම මේ වනවිට රෝගීන්ගෙන් පිරී පවතියි.

කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කළ රෝහල්වල ඇඳන් දහතුන්දහක් (13000) තිබූ අතර ඉන් පසු ඇඳන් තිස්හත්දහසක් (37000) ධාරිතාවයක් දක්වා වැඩි කරන ලදී.

දිවයින පුරා ස්ථාපිත කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් දහසයදහස් විසිදෙකක් (16022) පවතින අතර ඊයේ (2 වැනිදා) උදෑසන වන විට ඇඳන් 14,000ක රෝගීන් සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරයි.

රෝහල් දැඩි සත්කාර ඒකකවල ඇඳන් 650ක් ඇති අතර එම ඇඳන්වලින් බහුතරය පිරී පවතියි.

සාමාන්‍යයෙන් කොවිඩ් රෝගියකු දින දහයක්වත් අවම වශයෙන් ප්‍රතිකාර ලබාගත යුතුය. එහෙත් විවිධ සංකූලතා ඇති රෝගීන්ගේ අවදානම වැඩි බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම රෝහල් ආශ්‍රිත ප්‍රතිකාර මධ්‍යස්ථානවලටම අනුයුක්ත කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.