ඔන්ලයින් බිස්නස් කරන්න ගොස් තරුණියකට වූ විපත

0
Online Business - ඔන්ලයින් බිස්නස් කරන්න ගොස් තරුණියකට වූ විපත
Young student looking at the screen of his new notebook while taking notes for his class that he is studying online, while drinking his morning cup of coffee
මුහුණු පොතින් චැට් කර හඳුනාගත් මොණරාගල තරුණයකු සමග ඔන්ලයින් බිස්නස් එකක් කිරීමට ගිය ගම්පොළ ප‍්‍රදේශයේ තරුණියකට රුපියල් ලක්‍ෂ 35 ක මුදලක් අහිමි වී ඇතැයි ගම්පොළ පොලිසිය සඳහන් කරනවා.

මොවුන් දෙදෙනාම වයස අවුරුදු 25 ට අඩු වූවන් වන අතර තරුණියගේ පෙම්වතා විදේශ රැකියාවක නිරත වන්නෙක් බවයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙන්නේ.

මේ අතර තරුණිය විසින් ඇගේ මුහුණු පොත පරිශීලනය කරන අතර තුර මෙම මොණරාගල තරුණයා හඳුනාගෙන තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ මිතුදම වැඩි දියුණු වෙද්දී මොණරාගල තරුණයා පවසා ඇත්තේ තමා අන්තර්ජාල ව්‍යාපාරයක් කරන බවත් එයට හවුල් වන්නේ නම් මාසයකට විශාල මුදලක් උපයාගත හැකි බවයි.

අඩුම රුපියල් ලක්‍ෂ 35 ක් ඒ සඳහා ආයෝජනය කරන්නේ නම් ඇයට මාසයකට රුපියල් ලක්‍ෂ 18 ක් ලබාදිය හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

තරුණිය විසින් මේ පිළිබඳව ගම්පොළ නීතිඥ මහතකුගෙන් උපදෙස් පතා ඇති අතර එම උපදෙස් අනුව තරුණයා ගම්පොළට ගෙන්වාගෙන ඇත්තේ එයට අදාළව නීතිඥ මහතා ඉදිරියේ ගිවිසුමක් ඇතිකර ගැනීමටයි.

තරුණිය විසින් විදේශගත ඇගේ පෙම්වතාටද මේ බව දන්වා ඔහුගෙන් මුදල් ද ගෙන්වාගෙන ඇති අතර මොණරාගල තරුණයා සමග ගොස් නීතිඥ මහතා ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් කර මුදල් සියල්ල තරුණයාට ලබාදී තිබෙනවා.

නීතිඥ මහතාගේ උපදෙස් හා ගිවිසුම අනුව මේ පිළිබඳව ඇයට බියක් නොමැති වුවද මුදල් දුන් දින සිට තරුණයා මුහුණු පොතින් අතුරුදහන්ව ඇති අතර දුරකථන අංකයද ක‍්‍රියා විරහිත කර ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබෙනවා.

පසුව තරුණිය මේ පිළිබඳව ගම්පොළ පොලිසියේ පැමිණිල්ලක් සිදුකළ අතර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙය වංචාවක් වුවත් නීතිඥ මහතකු ඉදිරියේ ඇතිකර ගත් ගිවිසුමක් අනුව මුදල් ගනුදෙනුව සිදු වී ඇති නිසා මෙය අපරාධයක් නොවන බවත් මෙය සිවිල් නඩුවකින් විසඳාගත යුතු බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

කෙසේ නමුත් මෙවැනි වංචා කාරයින්ට පැන යෑමට නොහැකි ලෙස කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.