දොඩම්පාපිටිය විදුහලට ඇමති දුන් ලැප්ටොප් ෆොටෝ ගැනීමෙන් අනතුරුව ආපසු අරන් ගියේ නැතිලු

0
Laptop Incident - දොඩම්පාපිටිය විදුහලට ඇමති දුන් ලැප්ටොප් ෆොටෝ ගැනීමෙන් අනතුරුව ආපසු අරන් ගියේ නැතිලු

දොඩම්පාපිටිය විදුහලට දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර උත්සව අවස්ථාවෙන් පසුව ආපසු රැගෙන
ගිය බවට පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ. මේ එම පැහැදිලි කිරීමයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ/මාර්ගගත ක්‍රමය හරහා සමස්ත ලංකාවේ ම දරුවන්ට ලබාදීම සිදුවුණු අතර දුරකථන සංඥා ආවරණ පහසුකම් නොමැතිවීම, අන්තර්ජාල පහසුකම් නොමැතිවීම, පරිගණක ආශ්‍රිත උපාංගයන් නොමැතිවීම නිසා දුෂ්කර ප්‍රදේශවල දූ දරුවන්ට එම අධ්‍යාපන කටයුතුසිදු කරගැනීමට නොහැකි විය.

ඊට පිළියමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2100ක් පමණ පිහිටුවීමට තීරණය කරන ලදී. එම සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීමේ දී, ඉහත සම්පත් තිබෙන සහ ලබාගත හැකි ප්‍රදේශයේ ළඟ ම පාසලෙන් තාවකාලි පදනම මත උපකරණ කිහිපයක් ලබාගෙන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට, වැඩසටහනට අදාළ උපදෙස් සංග්‍රහයක් මඟින් අධ්‍යාපන අමාත්‍යංශය, නිලධාරීන්ට උපදෙස් ලබා දීතිබුණි. ඒ අනුව ආසන්නතම නවෝද්‍යා පාසලක් වන හොරවල නවෝද්‍යා පාසලෙන් ටැබ් පරිගණක යන්ත්‍ර 10ක් දොඩම්පාපිටිය විද්‍යාලයට ද ලබාදෙන ලදී.

ඒ අනුව දිවයිනේ ප්‍රථම සම්පත් මධ්‍යස්ථානය ලෙස විවෘත කරන ලද්දේ බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය යි. එම උත්සව අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 05ක් සහ මොබිටෙල් ආයතනය මඟින් බහුමාධ්‍ය ප්‍රේක්ෂණ යන්ත්‍රයක් පිරිනමන ලදී.

වැඩසටහන අවසන් වීමෙන් අනතුරුව, සමස්ත දරුවන් 51ක් පමණක් ඉගෙන ගන්නා දොඩම්පාපිටිය පාසලට අලුතින් ලැබුණු ලැප්ටොප් පරිගණක එහි භාණ්ඩ ලේඛනයට ඇතුළත් කොට භාවිතයට ගන්නා ලදී. ප්‍රමාණවත් යන්ත්‍ර ප්‍රමාණයක් තිබෙන බැවින් තාවකාලික පදනම මත ලබාගත් ටැබ් යන්ත්‍ර හොරවල නවෝද්‍යා පාසලට නැවත ලබාදෙන ලදී.

එබැවින් කිසිසේත්ම පාසලට ලබාදුන් ලැප්ටොප් නැවත රැගෙනගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බැව් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.”