මෝටර් රථයක් තුළ 17 හැවිරිදි සිසුවියකට අතවර කළ IT ගුරුවරයාට වැඩ වරදී

0
Sexual Abuse - මෝටර් රථයක් තුළ 17 හැවිරිදි සිසුවියකට අතවර කළ IT ගුරුවරයාට වැඩ වරදී
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම, කිඹුලාවල මංසන්ධියේ රථ ගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධ සහිත ගුරුවයෙකි.

දැරියගේ පුංචි අම්මා එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිටින අතර දැරියට එම රටට යාමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පොත් කිහිපයක් අතවරයට ලක්වූ දැරියට ලබා ගැනීමට අවශ්‍ය වී තිබේ.

ඒ අනුව, එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිල දී ගැනීමට උදව් කරන මුවාවෙන් මෙම දැරිය රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් ඇය කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, දැරියගේ මව අංශභාග රෝගියෙකු බවත් සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු අදාළ ගුරුවරයා සමග පොත් මිලදී ගැනීම සඳහා යන බවට දැරිය තම මවට පවසා ඇති බවත් දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වුණු බවය.

සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථ ගාලේ මෝටර් රථය ගාල් කර ඇත.

අනතුරුව දැරියට මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිට පිටුපස අසුනට යන ලෙස සැකකාර ගුරුවරයා පවසා තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව, ගුරුවරයාගේ දැනුම්දීම මත දැරිය මෝටර් රථයේ පිටුපස අසුනට ගොස් ඇත.

පොලිසිය සඳහන් කළේ, පසුව සැකකාර ගුරුවරයා ද පිටුපස අසුනට ගොස් දැරියට ලිංගික අතවර කර තිබූ බව විමර්ශනවලදී අනාවරණ වූ බවය.

ඒ බව දුටු ත්‍රී රෝද රථ රියැදුරෙකු කිඹුලාවල හංදියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අසලට ගොස් කිඹුලාවල රථ ගාලේ මෝටර් රථයක් තුළ කුඩා දැරියකට පුද්ගලයෙකු ලිංගික අතවර කරන බවට දැනුම් දී තිබේ.

ඒ අනුව, වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සැකකාර ගුරුවරයා දැරියට ලිංගික අතවර කරන බවට තහවුරු වී තිබුණු බව තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉරෝෂා සුභාෂිණී මහත්මිය පැවසුවාය.

සැකකාර ගුරුවරයා සහ අතවරයට ලක්වූ දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වූ බව සුභාෂිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

පොලිසිය සඳහන් කළේ, සැකකාර ගුරුවරයා කලකට ඉහතදී අනතුරකට පත්ව දකුණු පාදය අහිමිව කෘත්‍රිම පාදයක් පැළඳ සිටින අයෙකු බවය.