කෝටි ගණනක් ගිල්ල ස්මාර්ට් කැබ් ආනයනය

0
කෝටි ගණනක් ගිල්ල ස්මාර්ට් කැබ් ආනයනය

නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් රේගු බදු අය කරමින් වාහන තුන්දහස් හතළිස් පහක් මෙරටට ගෙන්වීම නිසා 2010 -2019 කාලයේ රජයට රුපියල් කෝටි හාරසිය තිස් පහක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

මෙම වාර්තාව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ පෙරේදා (20 වැනිදා) පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලදී.

ටොයොටා හයිලක්ස් ස්මාර්ට් කැබ් වාහන තුන්දහසක් ආනයනය කිරීමේදී රේගුව අයකර ඇත්තේ සිංගල් කැබ් රථ සඳහා අය කරන බදු ප්‍රමාණය බව පවසන එම වාර්තාව මෙම එක් ස්මාර්ට් කැබ් රථයකින් රුපියල් ලක්ෂ දහය බැගින් වාහන තුන්දහසකින් රුපියල් කෝටි තුන්සියයක් රජයට අහිමිවී ඇතැයි සඳහන් කරයි.

මෙකී ස්මාට් කැබ් රථ නිෂ්පාදනය කර තිබෙන්නේ ඩබල් කැබ් වාහනයට සමාන ස්වරූපයකින් බවද රජයේ ගිණුම් කාරක සභාව සඳහන් කර තිබේ.

මීට අමතරව අඩු බදු මුදලක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස වෑන් රථ හතළිස් හතරක් ඉහත කාල පරිච්ඡේදයේ ආනයනය කර ඇත. පසුව ඒවා ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි එකසිය තිහකට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබේ.

මහජන ඇමතුම් උපකරණ සවිකළ විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේද රුපියල් ලක්ෂ පහළොවක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනය රේගුව නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් පන්කෝටි හැට ලක්ෂයක් බව වාර්තාවෙන් තවදුරටත් නිරීක්ෂණය කොට ඇත.

ශ්‍රී ලංකා රේගුව මගින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාළ වාර්තාවේ අන්තර්ගතය.

වාර්තාවේ නිරීක්ෂණවලට අනුව රේගුව මගින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබේ.