කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා මින් ඉදිරියට මාධ්‍යයට දීම තහනම්

0
Chandima Jeewandara - කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා මින් ඉදිරියට මාධ්‍යයට දීම තහනම්
කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා කිසිදු මාධ්‍යයකට නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයට දැනුම්දී ඇත.

ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් මින් ඉදිරියට ලබාදෙන බව එම විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරයි.

ප්‍රතිදේහ වාර්තාවන් සම්බන්ධයෙන් තමාට කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන්නැයි අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මෙය ඉතා සංවේදී කරුණක් වන බැවින් යැයි ඔහු විශ්වාසය පළ කරයි.

කොවිඩ් ප්‍රතිදේහ පිළිබඳ තවත් පර්යේෂණ වාර්තාවක් පෙරේදා (03දා) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදී ඇත. එම වාර්තාවේ කරුණු උපුටා දක්වමින් Nextstrain.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඩෙල්ටා වයිරසය ආසාදනය වූවන් 19දෙනකු මෙරටින් සොයාගෙන ඇති බවයි. කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලින් එම රෝගීන් හමුවී ඇත. ඒ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 123 දෙනකුගේ සාම්පල මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණවලදීය.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ, කොළොන්නාව හා අංගොඩද, ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගලින්ද ‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදනයවූවන් සොයාගෙන තිබේ. ආසියානු රටවල ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර යාමද සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව අනාවරණය වෙයි.

කෙසේ වෙතත් වසංගතයේ සැබෑ තත්ත්වය හෙළිදරව් කිරීමට විද්‍යාත්මක සාක්ෂි සපයන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කට වසා දැමීමේ උත්සාහය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයක් කළ යුතු බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් කොවිඩ් ප්‍රතිදේහ වාර්තාව ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ තොරතුරු සැඟවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

සියලුම පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇත්දැයි වසංගත රෝග ඒකකයද සොයා බලන බව ඔහු කීවේය.