
අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු ගැන මේ දිනවල සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.
ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු, ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරා මාර්තු 18 වන දා මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමග ය. එම අනතුරින් කථිකාචාර්යවරයාගේ දරුවන් තිදෙනා ද තුවාල ලබා තිබිණි.
අධික වේගයෙන් රිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බව සඳහන් විණි.
මෙම සිදුවීමෙන් පසු සමාජ මාධ්‍යවල අධිවේගී මාර්ගවල ගමන් කරන රියැදුරන් අනතුරු වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් පළවන අයුරු නිරීක්ෂණය කිරීමට හැකි විය.
ඒ අනුව, බීබීසී සිංහල අධිවේගී මාර්ගවලදී සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට රියැදුරන්ට පිළිපැදිය හැකි පහසු සහ ඵලදායී පියවර කිහිපයක් පිළිබඳව විමසා බැලීමට මොරටුව විශ්වවිද්‍යාලයේ, ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ සම්බන්ධ කර ගත්තේ ය.
ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට අධිවේගී මාර්ග හඳුන්වා දී වැඩි කලක් ගොස් නොමැති බැවින් රියැදුරන්ට මෙම මාර්ග සම්බන්ධයෙන් ඇති අත්දැකීම් තරමක් අඩු බව ය.
ඔවුන්ට බොහෝ වේලාවට සාමාන්‍ය මාර්ගවල ධාවනය කර අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ඊට අවශ්‍ය මානසිකත්වය හැඩගැසීම ප්‍රමාණවත්ව සිදු නොවන්නේ යැයි තමන් සිතන බව ද මහාචාර්යවරයා පැවසීය.
එසේ වුව ද අනතුරු සඳහා හේතු සාධක කිහිපයක් බලපාන බව ත් මාර්ගවල ඇති අඩුපාඩු, මෝටර් වාහනවල ඇති අඩුපාඩු, රියැදුරා සහ මාර්ග භාවිත කරන වෙනත් රියැදුරන්ගෙන් සිදුවන අඩුපාඩු ඒවා අතර වන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
1. අධික වේගය
මහාචාර්ය අමල් කුමාරගේ සඳහන් කළේ, අධිවේගී මාර්ගයක “වැදගත් ම දේ” වේගය බව ය. ඉක්මනින් ගමන් කිරීම සඳහා ඒවා නිර්මාණය කරන බව ඔහු පැවසීය.
“එතකොට වේගය කියන එක දෙපැත්තට කැපෙන කඩුවක්. මොක ද එක පැත්තකින් අපිට විනාඩි 5ක්, පැයක් දෙකක් ඉතුරු කර ගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජීවිතයක් නැති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වේගය හසුරුවන එකට පුරුදු වෙන්න ඕනේ,” ඔහු සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 100කි. එය ඉක්මවා යාම දඬුවම් ලැබිය හැකි වරදකි.
මෝටර් වාහනවල වේග මාපකයේ ඊට වැඩි අගයක් සඳහන් කර ඇති නිසා එම සීමාව ඉක්මවා ධාවනය කළ හැකි බවට යමෙකු හැඟිය හැකි බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඉන්ජිනේරුවන් විසින් මාර්ග සෑදීම සිදු කරනු ලබන්නේ යම් වේග සීමාවකට යටත්ව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
“ඉතින් අපි මතක තියාගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ හැම පාරක් ම, ඉන්ජිනේරුවන් නිර්මාණය කරන්නේ, යම්කිසි වේගයකට. ඒක තමයි ආරක්ෂාකාරී වේගය. සාමාන්‍යයෙන් 100ක වේග සීමාවක් පනවන්නේ, උපරිම 110කට වගේ, 120කට වගේ හදපු පාරක්. ඉන් එහාට ධාවනය කරනවා කියන්නේ, ඇත්තට ම ඒක දරන්න බැරි තැනකට ගෙනියන එක,” ඔහු පැහැදිලි කළේ ය.
එබැවින් තමා දක්ෂ රියැදුරෙකු වුව ද, තම වාහනය හොඳ වර්ගයේ එකක් වුව ද එම සීමාව ඉක්මවා යාමේදී තමාට ඇති ආරක්ෂාව නැති වී යා හැකි බව ඔහු අවධාරණය කළේ ය.
“උදාහරණයක් වශයෙන් අපි හිතමු වාහනයක් 100ට යන්න තියෙන තැනක කෙනෙක් 120ට 130ට පදවනවා කියලා, එතකොට එයාගේ අතින් යම් ආකාරයක, වෙන වාහනයක් ලේන් එක මාරු කරනවා, එතකොට මෙයා කාත් එක්ක හරි කතා කර කර යනවා හරි මොකක් හරි එකකදී, එයාට තත්පර කාලක මිස් වීමක් වෙනවා.
එතකොට මේ තත්පර කාල ඇති, මීටර් 10ක 20ක වගේ ප්‍රමාණයක් එයාට ආරක්ෂාව අඩු වෙන්න. මේ 20දී තමුන් වෙන වාහනයක වැදෙනවා විතරක් නෙවෙයි, ඒ වැදෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකක් හරි උවදුරකට තියෙන කාලයත් අඩු වෙනවා, යම් කිසි දෙයක් ගැටුනාම ඒ වෙන බලපෑමත් වැඩි වෙනවා,” මහාචාර්යවරයා වේග සීමාව ඉක්මවා යාමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව තවදුරටත් පැහැදිලි කළේ ය.
වේගය වැඩි වීම තුළ රිය අනතුරු සිදුවීමේ සම්භාවිතාව මෙන් ම, ඉන් ඇති වන බලපෑම ද ඉහළ යන බව ඔහු සඳහන් කළේ, මෙලෙස වේග සීමා හඳුන්වා දී ඇත්තේ, යම් අනතුරු දායක තත්ත්වයකට මුහුණ දුන්න ද එයට ප්‍රතිචාර දැක්විය හැකි ලෙස යැයි ද පවසමිනි.
වර්ෂාව වැනි තත්ත්වයන්වලදී එම සීමාව පහත දමන්නේ, “100ත් වැඩි නිසා,” බව ඔහු පැවසීය. “ඒක රියැදුරාට දෙන මග පෙන්වීමක්. නීතියටත් වඩා ඒක උපදෙසක් හැටියට බලන්න ඕනේ.”
2. සෙමින් යාම
මහාචාර්ය අමල් කුමාර පෙන්වා දුන්නේ, මෙරට අධිවේගී මාර්ගවල සෙමෙන්, එනම් වේග සීමාවට වඩා අඩුවෙන් පැයට කිලෝමීටර් 60 වැනි වේගයකින් මෝටර් වාහන ධාවනය කරන ආකාරය තමන් නිරීක්ෂණය කර ඇති බව ය.
නමුත් අධිවේගී මාර්ග ඉදි කිරීමේ අරමුණ, ඒකාකාරී වේගයකින් රථ වාහන ධාවනය කරවීමට බව ඔහු පැවසීය. එලෙස වාහන ඒකාකාරී වේගයකින් ධාවනය නොවීම අනතුරු සිදුවීමට හේතුවක් බව ඔහු සඳහන් කළේ ය.
“අපි හිතමුකෝ පාරක වාහන ඔක්කො ම එක වේගයකින් යනවා කියලා. එහෙම වෙනවා නම් කිසි ම වාහනයක් වෙන වාහනයක් ඉස්සර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. එතකොට වාහන අතර වේග පරස්පරය වැඩි වෙන්න වෙන්න වෙන්නේ, ඉස්සර කිරීමේ අවශ්‍යතාව වැඩි වෙනවා. ඉතින් ඒ හැම වෙලේ ම වම් පැත්තේ තීරුවේ නම් යන්නේ, දකුණු පැත්තේ තීරුවට දාන්න වෙනවා. ආපහු වම් පැත්තේ තීරුවට දාන්න වෙනවා,” මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, අධිවේගී මාර්ගවල තීරු මාරු කිරීම අවදානම් ක්‍රියාවක් බව ය. හැකිතාක් තීරු මාරු කිරීමකින් තොරව ඒකකකාරී වේගයකින් ගමන් කරන්නේ නම්, ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බව ඔහු පැවසීය.
“හුඟාක් අධිවේගයෙන් යනවා නම්, 100ට යන්න ඕනේ තැන අපි හිතමු 110ටත් වඩා යනවා කියලා, එතකොට අර පාරේ තියෙන වාහන 99%ක් ම ඉස්සර කරන්න එපැයි. ඒ වගේ ම තමයි, 100ට යන්න ඕනේ තැන 60ය යනවා නම්, අතන ඉන්න 99%ක් ම තමුන්ව ඉස්සර කරන් යන්න ඕනේ. මට නම් මේ දෙක ම එක හා සමාන භයානක ක්‍රියාවන්.”
එවැනි අවස්ථාවලිදී සෙමෙන් ගමන් කරන වාහනයේ වේගය නිර්ණය කර ගැනීමේ අපහසුතාව නිසා අනතුරුවලට භාජනය විය හැකි බව ද ඔහු තවදුරටත් සඳහන් කළේ ය.
3. මංතීරු විනය
අද වන විට ශ්‍රී ලංකාවේ අධිවේගී මහාමාර්ගවල වාහන ධාවනයේදී මංතීරු අතර පවත්වා ගත යුතු විනයේ ප්‍රගතියක් නිරීක්ෂණය කළ හැකි බව මහාචාර්ය අමල් කුමාරගේ පැවසීය.
එම විනය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කළේ ය.
“වම් පසින් ධාවනය කරලා, ඉස්සර කරන්න විතරක් දකුණු පැත්තට ගන්න ඕනේ. ඒ ධාවන පථයේ මැද ඉන්න ඕනේ. අපේ බොහෝ රියැදුරන් ධාවන පථයේ අයිනේ ඉන්නවා. එක ටයර් එකක් අනිත් පැත්තේ දාගන්නවා. මොකද අදහසක් තියෙනවා, අනිත් පැත්තේ ඉඩ තියෙනවනේ, යන්න පුළුවන් නේ කියලා. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. ධාවන පථය බාධා නැතුව තියා ගන්න ඕනේ. අනිත් වාහනයට ඉස්සර කරලා යන්න.”
කොපමණ වේගයකින් ගමන් කළ ද, අප වාහන ධාවනය කළ යුත්තේ වම් මං තීරුවෙන් වන අතර තවත් වාහනයක් පසු කර යාමේදී පමණක් දකුණු මං තීරුවට මාරු විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.
කෙසේ වෙතත්, එලෙස පසු කිරීමට පෙර දකුණු මං තීරුව බාධාවලින් තොර බව පැති කණ්නාඩි සහ පසුපස දර්ශනය වන කණ්ණාඩියෙන් බලා තහරුවුරු කර ගත යුතු බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
“ඉස්සරහින් වාහනයක් තියෙන නිසා හිතනවා කෙලින් ම දකුණට දාන්න පුළුවන් කියලා නිසා. දකුණට දාන්න පුළුවන් වෙන්නේ, තමන් පිටිපස්සේ දකුණු මං තීරුව ක්ලියර් නම්. අනිත් එක අපි තේරුම් ගන්න ඕනේ ඒ වාහන එන්නේ ගොඩක් වේගෙන්. ඉතින් රියර් වීව් මිරර් එකෙන් බලද්දී තමන්ට හොඳ දැනුමක් තියෙන්න ඕනේ, වාහනය අතර පරතරය ඇති ද කියලා තීන්දු කර ගන්න,” ඔහු පැහැදිලි කළේ ය.
තමන් වාහනයේ වේගය යම් හේතුවක් මත අඩු කරන්නේ නම්, වාහනය නතර කරන්නේ නම්, හැකි ඉක්මනින් අදාළ වේග සීමාවට වාහනයේ වේගය ගෙන ආ යුතු බව ද ඔහු පැවසීය.
මහාචාර්යවරයා සඳහන් කළේ; “ට්‍රැෆික් ගැන කතා කරද්දී අපි කියන්නේ වතුර ගලාගෙන වගේ ස්මූත්ලි යන්න තියෙන්න ඕනේ,” යනුවෙනි.
4. හෙඩ්ලයිට් ඩිම් කිරීම
තම මෝටර් වාහනයේ ඇති ප්‍රධාන ලාම්පු අන් අයට බාධාවක් නොවන පරිදි භාවිත කළ යුතු බව මහාචාර්ය අමල් කුමාරගේ අවධාරණය කළේ ය.
ඉදිරිපසින් පැමිණෙන මෝටර් රථවල ප්‍රධාන ලාම්පුවල එළිය මෙන් ම, පසුපසින් පැමිණෙන මෝටර් රථවල ප්‍රධාන ලාම්පුවල එළිය ද අනතුරුදායක විය හැකි අවස්ථා පවතී.
බොහෝ මෝටර් වාහනවල පිටුපසින් එලෙස ආලෝක ධාරාවක් එල්ල වීමේදී එය මග හරවා ගැනීමේ පහසුකම ‘රියර් වීව්’ කණ්නාඩියේ පවතී. එහි යට කෙළවර ඇති කුඩා බොත්ත ම මගින් එය සිදු කළ හැක.
“දැන් මගේ වාහනයේ ගොඩක් වෙලාවට රියර් වීව් කණ්නාඩිය කට් ඕෆ් පොසිෂන් ඒකේ තියෙන්නේ. මොක ද එච්චරට අවශ්‍ය වෙනවා ඒක. ඕක ස්විච් එක ඕනේ වෙලාවට දාන්න විතරක් තියෙන්නේ,” මහාචාර්යවරයා සිය අත්දැකීම් ඇසුරෙන් පෙන්වා දුන්නේ ය.
එලෙස ප්‍රධාන ලාම්පුවල එළිය, නැතිනම් ‘හෙඩ්ලයිට්ස් ඩිම් නොකිරීම’ අයහපත් පුරුද්දක් බව ඔහු පැවසීය.
“ඒක දාන්නේ තමන්ගේ ආරක්ෂාව වැඩි කරගන්න නේ. මොකද හයියෙන් යද්දී වැඩිපුර දුර පේන්න ඕනේ. ඒක තමයි රෑට හයිබීම් දාගෙන 120ට 140ට යනවා. ඒකයි 100ට යන්න කියලා. ලෝ බීම් එකෙන් යන්න පුළුවන් වෙන්න. ඉතින් එක නීතියක් කඩලා, තව නීතියක් කඩනවා. අර කිව්වා වගේ ඒක වෙන කෙනෙකුට බලපෑමක් ඇති කරනවා,” යැයි ඒ හරහා නීති උල්ලංඝණය සිදුවන ආකාරය පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ ය.
“තත්පරයෙන් 10න් පංගුවක් ඇති ඇක්සිඩන්ට් එකක් වෙන්නත්, ඒකෙන් වෙන හානියේ ප්‍රමාණය වැඩි වෙන්නත්.”
5. වාහන අතර පරතරය පවත්වා ගැනීම
වාහන අතර නියමිත පරතරය පවත්වා ගැනීමේ වැදගත්කම ද මහාචාර්ය අමල් කුමාර එහිදී පැහැදිලි කළේ ය.
හදිසි අවස්ථාවකදී තම වාහනයේ තිරිංග යෙදීමට අවශ්‍ය වුවොත් ඉදිරියේ ඇති වාහනයේ ගැටීමකින් තොරව තම වාහනය නතර කර ගැනීමට එමගින් හැකියාව ලැබේ.
“සාමාන්‍යයෙන් කියන්නේ තත්පර 2ක්. ඉස්සරහ වාහනයත් එක්ක තත්පර දෙකක් තියෙන්න ඕනේ කියලා. හුඟක් වෙලාවට කියනවා තමුන් ගණන් කරන්න කියලා, එක් දාහයි එක්දාස් එකයි කියලා. අන්න ඒක කියන්න යන කාලය තියාගන්න කියලා,” වාහන අතර පරතරය තබා ගැනීමට උපකාරී වන ක්‍රමයක් ඔහු සඳහන් කළේ ය.
පරතරය පවත්වා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ඇති සම්මුතිය තත්පර දෙකක කාලය බව මහාචාර්යවරයා පැවසීය.
6. නින්ද
අධිවේගී මාර්ගවල නිදා වැටීමට ඇති ප්‍රවණතාව වැඩි බව මහාචාර්ය අමල් කුමාර පෙන්වා දුන්නේ ය. එය රාත්‍රී හෝ දහවල් කාලයේදී නොවෙනස්ව බලපෑ හැකි බව ඔහු පැවසීය.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, සාමාන්‍ය මාර්ගවල මෙන් දෙපස වන වෙනත් සිදුවීම් නොමැති නිසා බවත්, බොහෝ විට ගමන ඒකාකාරී වන නිසා බව ත් ය. එලෙස ඒකාකාරීත්වය වැඩි වීම කෙනෙකුට නින්ද යාමේ සම්භාවිතාව වැඩි කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
“ඒ නිසා විශේෂයෙන් ම, නවත්තලා බ්‍රේක්ස් ගන්න එක වැදගත් වෙනවා. අපේ රටේ පොඩි අඩුපාඩුවක් තියෙනවා, පාරෙන් ඉවත් වෙලා එහෙම බ්‍රේක්ස් ගන්න පුළුවන් තැන් එහෙම හැම තැන ම නැහැ. අනිත් එක පාරේ නවත්තන්නත් බැහැ.”
එබැවින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට රියැදුරන් මෝටර් රථයේ වතුර බෝතලයක් සඳහා රැගෙන යාම, හැකි විට මුහුණ සෝදා ගැනීම, කතාබහ කිරීමට තවත් කෙනෙකු වාහනයේ ගෙන යාම වැනි පුරුදු ඇති කරගත යුතු බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
නිදිමත ඇතිවන බෙහෙත් වර්ග ලබා ගැනීමෙන් පසු වාහන පැදවීම සහ අධික ලෙස ආහාර ගෙන වාහන පැදවීම (නිදිමත ඇති විය හැකි බැවින්) නොකළ යුතු බව ද ඔහු පැවසීය.
සැහැල්ලු ආහාර වේලක් ලබා ගැනීම සහ හොඳ නින්දක් ලබා රිය ධාවනයට යොමු වීමේ පුරුදු ඇති කර ගැනීම ද මෙම අනතුරුවළක්වා ගැනීමට උපකාර වන බව මහාචාර්යවරයා අවධාරණය කළේ ය.
“එයාලයින් එකක පයිලට් කෙනෙකුට ඊට කලින් දවසේ නින්ද ගියේ නැත්නම්, එයාට ප්ලේන් එක අරගෙන යන්න දෙන්නේ නැහැ,” ඔහු පෙන්වා දුන්නේ ය.
7. වාහනයේ තත්ත්වය
අධිවේගී මාර්ගවල පමණක් නොව ඕනෑ ම මාර්ගයක වාහනයක් ධාවනය කිරීමට එය හොඳ තත්ත්වයේ තිබිය යුතු බව මහාචාර්ය අමල් කුමාර පැවසීය.
එහිදී තම වාහනයේ තාක්ෂණික ගැටලු නැති බව තහවුරු කර ගැනීම මෙන් ම, වාහනයේ ආලෝක ලාම්පු (බ්‍රේක් ලයිට්ස්) ආදිය නිසි පරිදි දැල් වෙන්නේ ද යන්න පවා පරීක්ෂා කර ලබා ඒවා මාර්ගවලට ඇතුළු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු සඳහන් කළේ, බොහෝ අවස්ථාවලදී රියැදුරන් වයිපර්වල ක්‍රියාකාරිත්වය නොසලකා හරින බව ය.
“අවස්ථා තියෙනවා, ලංකාවේ වාහනවල වයිපර්ස් හරියට වැඩ කරන්නේ නැහැ. වැස්ස ගමන්, වාහනය ස්ලෝ වෙනවා, මොකද වයිපර් එක වැඩ කරන්නේ නැහැ. මොක ද ඒක පොලිසියෙන් බලන්නෙත් නැහැනේ. ලයිට් ටික නම් පොලිසියෙන් බලනවා. හෙඩ්ලයිට් එක පවා බලනවා. නමුත් වයිපර් එක පොලිසියෙන් බලන්නේ නැහැ. මොකද වැස්ස වෙලාවට විතරනේ ඒක බලන්න පුළුවන් වැඩ කරනවා ද කියලා,” ඔහු පැහැදිලි කළේ ය.
මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා තාක්ෂණය යොදා ගැනීම, පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි පුහුණු කිරීම, ඔවුන් නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා අනතුරුදායක තත්ත්වයන්වල ඇති වාහන නතර කිරීම ආදී පියවර රජයන් විසින් ගනු ලැබිය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිසිය ගෙන ඇති පියවර
අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් බීබීසී සිංහල රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩගෙන් විමසීමක් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ රථ වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමට පෙර නිසි පරිදි පරීක්ෂා කිරීම් සිදු කරන බව ය.
“අපි අධිවේගයේ ගමන් කරන පොලිස් නිලධාරීන්ට දැනුවත් කරලා තියෙනවා ප්‍රධාන ලාම්පු පහන් නිසි පරිදි වැඩ කරනවා ද, සිග්නල් ලයිට් තියෙනවා ද, බ්‍රේක් ලයිට් තියෙනවා ද , ගෙවී ගිය ටයර් තියෙනවා ද, ඒවා සේරම පරීක්ෂා කරලා තමයි ටෝල් ගේට්වලින් අපි ඇතුළු කරන්නේ,” ඔහු පැවසීය.
මේ අතර, අධිවේගී මාර්ග ආරක්ෂාකාරීව භාවිත කළ යුතු ආකාරය මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය විසින් සිය වෙබ් අඩවියේ සඳහන් කරනු ලැබ ඇත.
ඕනෑ ම හදිසි අවස්ථාවකදී 1969 අමතා දැනුම් දීමට අවස්ථාව පවතී.