දින 27කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල පහළ යාමක්

0
කොළඹ කොටස් වෙළෙඳපොළ

අඛණ්ඩ වර්ධනයක් පෙන්වා දින 27කට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල පහළ යාමක් පෙන්නුම් කරයි.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 11.48කි.

මෙලෙස අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව දින 27ක් පුරාවට එහි වර්ධනයක් දැකිය හැකි වූ පසුබිමක වීම විශේෂත්වයකි.

ප්‍රධාන වශයෙන් අද දිනයේ දී සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් බලපෑ අතර දිනය තුළ සමාගම් 189ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. බිලියන 1.03ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු.මිලියන 882 ක්, HNB රු. මිලියන 401 ක්, සම්පත් බැංකුව රු. මිලියන 350 ක් සහ LOLC හෝල්ඩිංග්ස් රු. මිලියන 305 ක් ලෙසින් අද දිනයේ දී ඉහළ පරිවැටුම් වාර්තා කළ සමාගම් අතර පෙරමුණේ විය.