ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම ගැන නඩුවේ අවසන් තීන්දුව මෙන්න.

0
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක්

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් ඇතිවූ අර්බුදය නිරාකරණය කිරීම සඳහා විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති විසඳුම් 03 අතුරින් වඩාත් සුදුසු විසඳුම තෝරාගෙන එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (දෙසැම්බර් 31 වැනිදා) විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කර සිටියේය.

එමෙන්ම කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණය සහ එය අනුමත කරමින් ඉකුත් නොවැම්බර් මස 25 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල ශුන්‍ය කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊට අමතරව මෙම ප්‍රශ්න පිටවීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක්ද උපකාරක පන්ති ගුරුවරයකු බව කියන චමින්ද කුමාර ඉලංගසේකර විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වන්දි මුදල් අද සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවටත් නියෝග කරනු ලැබීය.

ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව සඳහන් කරමින් එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පුරා දින තුනක් තිස්සේ විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කුමුදුනී වික්‍රමසිංහ, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ මෙම අර්බුදය නිරාකරණය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරු තුන් දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් ඊට අදාළව විසඳුම් තුනක් යෝජනා කර ඇති බව ය.

ඒ අනුව කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම, එම ප්‍රශ්න තුන කපා හැරීම සහ කලින් ප්‍රශ්න පිටවූ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කොට අලුතින් විභාගයක් පැවැත්වීම එම විසඳුම් තුන බවත් නඩු තීන්දුවේ සඳහන් විය.

එම විසඳුම් තුන අතුරින් වඩාත් සුදුසු විසඳුමක් ස්වාධීන ලෙස තෝරාගෙන එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එමෙන්ම මෙම ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා එහි වාර්තාවක් අද සිට මාස තුනක් ඇතුළත අල්ලස් කොමිසමට යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියට නියෝග කළේය.

මෙම විමර්ශනවලට අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කෙරුණි.

මෙම සිද්ධියේදී වන්දි ගෙවීමට නියම වූ පුද්ගලයින් විසින් කිසියම් අල්ලසක් ලබාගෙන තිබේදැයි විමර්ශන පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අල්ලස් කොමිසමට නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව අනාගතයේදී පොදු විභාග පැවැත්වීමේදී ඒවායේ විශ්වසනීයත්වය ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත තවත් නියෝගයක් නිකුත් කර සිටියේ ය.

මෙම නඩුවට අදාළ නඩු ගාස්තු අයකර ගැනීමට දෙමව්පියන්ට හැකියාව තිබෙන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ බිල්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත ඉදිරිපත් කර එම කටයුතු ඉටු කර ගැනීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගයේ ‘කලින් පිටවූ’ ප්‍රශ්න 3ට ම නිදහස් ලකුණු

අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා (දෙසැම්බර් 02 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණි.

එමෙන්ම මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබෙන බවත් සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ ය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

පසුගිය දා අවසන් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (නොවැම්බර් 18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, එම විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඊට අමතරව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවන ලෙස දන්වා තවත් අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළේ ය.

මෙවර විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රශ්න තුන සඳහා එම විභාගයට සහභාගී වූ සියලු ම සිසු සිසුවියන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට ගෙන තිබෙන තීරණය ද ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලමින් ද තවත් අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

කෙසේ වෙතත්, මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන කලින් පිටවූ බවට චෝදනා එල්ල වී 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව වග උත්තරකරුවන්ගෙන් විමසා මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගෙන ලෙසත් මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් දෙසැම්බර් මස 2 වන දා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් සැප්තැම්බර් මස 15 වන දා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව ය.

ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 3 සඳහා අදාළ විභාගයට පෙනී සිටි සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට බලධාරීන් තීරණයක් ගෙන තිබෙන බව ත් ඒ තුළින් විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි බව ත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

ඒ අනුව, මෙම ක්‍රියාව තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඊට අමතරව කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබා දීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගේ ප්‍රතිචාරය

05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

“අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගේ අතට ලැබුණා. පිටු 68ක තීන්දුවක්. වඩාත් සුදුසුම තීරණය ගෙන ක්‍රියාත්මක වෙන්න කියලා අධිකරණය නියෝග කළා. මේක දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. විකල්ප 3 අතරින් වඩාත් සුදුසුම විකල්පය මොකක්ද කියලා මට එකපාරටම කියන්න පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ.”

“සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාදෙන්න දින 40ක වගේ කාලයක් ගත වෙනවා. ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා.”