යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කරමින් ඊශ්‍රායලයෙන් ප්‍රභල ප්‍රහාර මාලාවක්

0
හූති කැරලිකරුවන්

ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා පෙරේදා (26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සානා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව හූති මාධ්‍ය කාර්යාලය පවසයි.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රියේසස් ද යේමනයේ සානා ගුවන්තොටුපොළේ සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හූති කැරලිකරුවන් විසින් රඳවාගෙන සිටි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් මුදාගැනීම මෙන්ම එහි මානුෂීය වාතාවරණය පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට යේමනයට ගොස් සිටි බව සඳහන් වේ.

යේමන සංචාරය නිමවා නික්මීමට ගුවන් යානයකට ගොඩවන විට ඊශ්‍රායල ප්‍රහාරය සානා ගුවන්තොටුපොළට එල්ල වී ඇත.

මේ හේතුවෙන් ඔහු ගමන්කිරීමට නියමිතව තිබූ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ද තුවාල ලබා තිබේ.

සානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක කුලුන සහ පිටවීමේ පර්යන්තයට මෙන්ම ගුවන් ගමන් ධාවන පථයට ද ඊශ්‍රායල ප්‍රහාරයෙන් හානි සිදු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාම සනාථ කර ඇත.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන් විය.