උපයන විට බදු අය කරන සීමාව ඉහලට , රඳවාගැනීමේ බද්දත් ඉහලට

0
උපයන විට බදු

උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව.

“අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා.” 

“ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා.”

“ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.”

“රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.”

“රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.”

“රු 350,000ක් වැටුපක්  වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්”

“වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.”

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළට

රඳවා තබා ගැනීමේ බද්ද

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ පැහැදිලි කිරීම පහතින් දැක්වෙයි,

“රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට අපි එකඟතාවයකට ආවා.” 

“සාමාන්‍යයෙන් වැඩිහිටි අය, විශ්‍රාමිකයන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කරලා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙනවා.” 

“සාමාන්‍යයෙන් මාසයකට රු 150,000ක් පොලියට වැටුණොත් තමයි එයා බද්දට යටත් වෙන්නේ.  නමුත් රඳවා තබාගැනීමේ බද්ද හරහා සිදුවිය හැකි දේ තමයි රු 150,000කට යටින් ගත්තත් රඳවා ගැනීමේ බද්දක් ලෙස පැනවීමේ හැකියාව තිබීම.” 

“ඒ නිසා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරනවා..ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ බැංකු ගිණුමකින් මේ බද්දට ඇතුළත් නොවේ කියලා තමන් උපකල්පනය කරනවා නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්ත්වය ඉදිරිපත් කරලා ඒ බද්දට ඇතුළත්වීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන පරිදි.” 

“මෙහි අපේක්ෂාව තියෙන්නේ විශ්‍රාමිකයන් වැනි මාසික රු 150,000ට වඩා බදු සීමාව අඩු ආදායමක් ඇති සහ සියයට 10ට බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට තමන්ගේ රඳවා තබාගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රඳවා තබාගැනීමේ බදු අනුපාතයන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.”

“ඒ වගේම අපි තුන්වෙනි සමාලෝචනයේ එකඟතාවයකට ආවා අපගේ දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දේශීය නැවුම් කිරි සහ යෝගට් නිෂ්පාදන සඳහා අදාළ වන එකතු කළ අගය මත බද්ද ඉවත් කරන්න.”

“පසුගිය රජය එකඟවී තිබුණා සේවා අපනයනය සඳහා බද්ද 30%ක් කියලා. එය අපි 15% දක්වා අඩු කිරීමට එකඟතාවයකට ආවා.”