ජනාධිපති රනිල් වික්‍රමසිංහ 26 ජාතිය අමතයි. රට බංකොලොත් බවින් නිදහස්. ජනතාවට සහන රැසක්

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

ජාතිය අමතද්දී සිය අපේක්ෂකත්වය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට කියාවිරවී

රවී

බංකොලොත් භාවයෙන් ගැල වී ලෝකය සමග ගනුදෙනු කරමින් දියුණු ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් සිටින මේ අවස්ථාවේ දී විපක්ෂය මවන බිල්ලන්ට රැවටී ජනතාව රෑ වැටුණු වලේ දහවල් නොවැටිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා මේ බව අවධාරණය කර සිටියේ, කොළඹ දී ඉරිදා (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙසේ ද පැවසීය.

අපේ රට මේ වන විට රට දියුණු සහ හොඳ ආර්ථිකයක් දෙසට ගමන් කරමින් සිටිනවා. රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.කෙසේ නමුත් ජන ජීවිතය ඒ තරම් පහසුම නැති බව කිව යුතුයි. ඉදිරියේ දී ප්‍රශ්නයත් විසඳෙනවා.

2024. ජූනි මස 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතනවා. එහිදී එතුමා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට-ජනතාව දැනුම්වත් කරාවි. රට බංකොලොත් භාවයෙන් එළියට ඇවිත් තිබෙන බව සියලු දෙනාටම පැහැදිළියි. ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව උදා වී තිබෙනවා. එමනිසා ජනතාව රෑ වැටුණු වලේ දවල් නොවැටී ගමන් කළ යුතුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුත්තේ රටක් බංකොලොත් වුණාමයි. ඒ අනුව අප ගියා. ඒ හේතුවෙන් රට බංකොලොත් භාවයෙන් එළියට පැමිණෙමින් සිටිනවා. රට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබමින් සිටිය දී පවා අවස්ථාවාදී, බල ලෝභී සහ කිසිම වැඩ පිළිවෙළක් නොමැති විපක්ෂය සියල්ල විවේචනය කරමින් බිල්ලන් මවා ජනතාව නොමඟ යවනවා. විපක්ෂයේ මේ කුමන්ත්‍රණවලට ජනතාව යළි රැවටෙන්නේ නැහැ.

නිවාසවලට බදු ගහන කතාවක් කියමින් ජනතාව නොමඟ යවා කුලප්පු කිරීමට විපක්ෂය අසර්ථක උත්සාහයක යෙදී සිටිනවා. කියනවා. රජය සෑම නිවසකටම බදු ගහන්න යනවා යැයි සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා කියනවා. මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු කරුණු කාරණා දන්නේ නැහැ. බොරු කියනවා. මම කියන්නේ මේ වගේ බොරු කියා බිල්ලෝ මවා රට ගිනි තියන්න එපා. වැරදි මත සමාජ ගත කරනු එපා.

මේ බදු හඳුන්වා දුන්නේ, බදු ගෙවීම පැහැර හරිමින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන අයට අදාළවයි. සෑම නිවසකටම බදු ගහනවා කිව්වාම ජනතාවට ක්‍රෝධයක් ඇති වනවා. විපක්ෂයට අවශ්‍ය වන්නේ එසේ කර රටේ ගමන අඩපන කිරීමටයි. මේ ක්‍රියාව ජාතික අපරාධයක් බව කිව යුතුයි. ආර්ථිකය ගැන නිසි අවබෝධයකින් තොරව පටු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කියන මේ කතා නිසා ජනතාව නොමඟ යාමට ඉඩ තිබෙනවා. ඒ වුණොත් රට-ජනතාව යළි අනාථ වනවා. රටේ කඩා වැටුණු ආර්ථිකය යළි නොවැටෙන තත්ත්වයට පත් කිරීම අපේ අරමුණයි.
මේ අතර එදා MCC ගැන විවිධ අභුත චෝදනා එල්ල කළා. ආයෝජන ගැන වැරදි ප්‍රකාශ නිකුත් කළා. ඒ නිසා රටට බොහෝ දේ අහිමි වුණා. රටක් ලෙස ශ්‍රී ලංකාව දුප්පත් නැහැ. නමුත් ජාතියක් ලෙස අප හිතන ආකාරය දුප්පත් බව කිව යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කරන්න බැහැලු. ඒ ගිවිසුමේ කිසිම ස්ථානයක එහෙම සඳහන් වන්නේ නැහැ. ජනතාව මේ බොරුවලට නොරැවටිය යුතුයි. බොරුව පරාජය කළ යුතුයි.

මේ රටේ තරුණ තරුණියන් අද බලා සිටින්නේ Cryptocurrency දෙසයි. අප එදා PayPal හඳුන්වා දුන්නා. අද සියලු දෙනා අසන්නේ Cryptocurrency පිළිබඳවයි. ඒ නිසා මේ සියල්ල බැලිය යුතුයි. රටට ඔබින ලෙස මේ ක්‍රම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද කියා සෙවිය යුතුයි. ශ්‍රී ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තිබෙනවා. Cryptocurrency වගේ ක්‍රමවල සාධනීය ගුණාංග ගැන සොයා බැලීම අවශ්‍යයි. නිල වශයෙන් Cryptocurrency ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද කියා බැලිය යුතුයි.
රට ඉදිරියට ගෙන යාමේ අභියෝගය සහ වගකීම භාර ගත්තේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වනවා. ජාතිය අමතද්දී එතුමා ඒ ගැන නිල ප්‍රකාශයක් කරාවි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ හැම ප්‍රශ්නයකටම උත්තර දිය හැකි ඉන්ද්‍රජාලික ආයතනයක් නොවෙයි. නමුත් එම ආයතනය නිවැරදි ලෙස භාවිතා කළ හැක්කේ සහ එම ආයතනයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන කවරේ ද යන්න පිළිබඳව අප තීරණය කළ යුතුයි.
පොසොන් පොහොය දවසේත් වෙසක් පොහොය දවසේ වගේම රට පුරා උත්සව, පිංකම් සහ දන්සැල් සංවිධානය කර තිබුණු බව අප දුටුවා. ජනතාව දන්සැල් ඇතුළු පිංකම් සිදු කරන්නේ එදාට වඩා යම් ආදායමක් උපයා ගෙන තිබෙන නිසයි. ජනතාව දන්සල් සංවිධානය කරන්නේ රටේ යම් සුභදායි තත්ත්වයක් තිබෙන නිසයි.