හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන්  ඊශ්‍රායලයට නියෝග

0
හමුදා ප්‍රහාර

දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය  ඊශ්‍රායලයට නියෝග කළේය.

රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය.

නමුත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකළත් මෙම නියෝගයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තරයේ තවත් හුදෙකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහුගේ සමීපතමයන් ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් මෙම නියෝගය දැඩිව විවේචනයට ලක් කර ඇත.

නෙදන් යාහු රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු වන එයිලෝන් ලෙවී ප්‍රකාශ කර සිටියේ නියෝගය ප්‍රකාශයට පත් කළ පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාෆ් සලාම් ලෙබනන ජාතිකයෙකු බවත් වැරදි නියෝගයක් ලබා දුන්නේ නම් ඔහුට ආරක්ෂිතව නැවත ලෙබනනය බලා යෑමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබූ බවත්ය.

පලස්තීන ජනතාව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම නැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම වසර තුළ ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය වේ.

පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දහතුන් දෙනකුගේ එකඟත්වයෙන් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.