පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) නිවසට රැඟෙන එයි. අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙන්න.

0
පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.

විදුලිසැර වැදීමකින් ඔහු 16 පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණි.

තෙවරප්පෙරුම මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වන සිකුරාදා සිදුකරන බවය.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සැලවූ මොහොතේ සිට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයට සහ ඔහුගේ නිවසට රැස්වී තිබුණි.

ඔහු ජීවත්ව සිටියදීම සිය සුසානය නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණි.

අභාවප්‍රාප්ත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඔහු ජීවත් වු මතුගම යටදොළවත්ත පිහිටි නිවස වෙත මෙලෙස රැගෙනවිත් තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතාට ඔහු පැතූ මෝක්ෂය උදාවේවායි NewsWeb.lk පැතුමයි

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය පිළිබඳව BBC වාර්ථාව පහලින්

පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා

පාලිත තෙවරප්පෙරුම

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අප්‍රේල් මස 16 වෙනිදා අභාවප්‍රාප්ත විය.

1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 64 වන වියේ පසුවිය.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් පාලිත තෙවරප්පෙරුම ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.

” අපිට හරියටම කියන්න අමාරුයි සිදුවුණු අනතුර මොකක්ද කියලා. ඒ ගැන පරීක්ෂණයක් සිදුකරනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පාලිත තෙවරප්පෙරුම ගේ දේශපාලන ගමන් මග

පාලිත තෙවරප්පෙරුම 2002 වසරේ පැවති මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුයේ මනාප 7,000ක් ලබා ගනිමිනි.

පසුව ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ අතර, එම මැතිවරණයේදී ඔහු ලබා ගත් ජන්ද සංඛ්‍යාව 39,167කි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2010 වසරේ පැවති මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ පාලිත තෙවරප්පෙරුම පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුයේ මනාප 51,153 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමිනි.

2015 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු මනාප 118,128 ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරප්පෙරුම අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරිය.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ අතර සක්‍රීය දේශපාලනයෙන් ද ඔහු ඈත්විය.

අමතක නොවන සිදුවීම්

පාලිත තෙවරප්පෙරුම
මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් වලට සම්බන්ධවීම නිසා පාර්ලිමේන්තුව තහනමට ද ලක්වූ අවස්ථා කිහිපයකට ද මුහුණ දීමට පාලිත තෙවරප්පෙරුමට සිදුවිය.

දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයක දී රක්ෂිත බන්ධනාගාර ගතවීමට පවා සිදුවිය.

2010 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වන විටත් පාලිත තෙවරප්පෙරුම දින 400 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේ දේශපාලන පලි ගැනීමේ සිදුවීමක් ලෙස එල්ල කෙරුණු චෝදනාවක් හේතුවෙනි.

2016 වසරේ දී කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඒ එම පාසැලට සිසුන් කිහිප දෙනෙකු ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලමිනි. එහිදී ඇතිවූ සිදුවීමේදී ඔහු ගෙල වැල ලා ගැනීමට උත්සාහ කරන ලදී.

2019 වර්ෂයේදී මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරුව එම වත්තේ පිහිටි සුසාන භූමියේ දේහය භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් වලට සම්බන්ධවීම නිසා පාර්ලිමේන්තුව තහනමට ද ලක්වූ අවස්ථා කිහිපයකට ද මුහුණ දීමට පාලිත තෙවරප්පෙරුමට සිදුවිය.

ජනතාව වෙනුවෙන් කැපවී කළ සේවයන්

මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබියදී පවා පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ ය.

2020 වසරේදී ඇතිවූ කොවිඩ් වසංගතය සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ භාවයට පත්වූ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබිය.

පාලිත තෙවරප්පෙරුම
ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන් හිදී අවතැන්වූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු සක්‍රීයව කටයුතු කරනු ලැබීය.

එමෙන්ම ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන් හිදී අවතැන්වූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු සක්‍රීයව කටයුතු කරනු ලැබීය.

2014 වසරේ ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ගැටුම් මැඩ පැවැත්වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම කටයුතු කරනු ලැබු ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ පැසසුමට ඔහු ලක්විය.