අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වෙයි. තරඟාවලිය ජයගත් බංගලි උසුලු විසුලු කරද්දී ටෙස්ට් සංචිතයත් නම් කෙරේ

0
අවසන් එක්දින තරගය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය සමත්විය.

අද (18) තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ වන අතර ඔහු නොදැවී 101ක් රැස් කළේය.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37ක් රැස් කළේය.

පන්දු යැවීමේ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තස්කින් අහමඩ් කඩුලු 03ක් දවා ගත්තේය.

තරග ජය ගැනීම සඳහා ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු ඕවර 40.2 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.

එහිදී තන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කළ අතර මුස්ෆිකූර් රහීම් නොදැවී ලකුණු 37ක් රැස්කළේය.

රිෂාඩ් හොසේන් නොදැවී ලකුණු 48ක් රැස් කළේ පන්දු 18කිනි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 04ක් දවාගත්තේය.

ටයිම් අවුට් සිද්ධිය යළි සිහිපත්කල බංගලි ක්‍රීඩකයෝ

තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත  තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමිකර ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය සමරන අවස්ථාවේදී මුෂ්ෆිකුර් රහීම් හෙල්මටයක් රැගෙන පැමිණ, මින් පෙර මතභේදයට තුඩුදුන් ටයිම් අවුට් සිද්ධිය යළි සිහිපත් කළ අයුරු පහතින්.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ.

17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර උපනායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස්.

ඉකුත් වසරේදී අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු හසරංගද මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 වැනිදාත් දෙවන තරගය මාර්තු මස 30 වැනිදාත් ආරම්භවීමට නියමිතය.

සංචිතය පහතින්.

අවසන් එක්දින තරගය