පූටින්ගේ සැබෑ ජනප්‍රියත්වය සහ රුසියානු ජනාධිපතිවරණය

0
පූටින්ගේ සැබෑ ජනප්‍රියත්වය

රුසියාව මාර්තු 15 සිට 17 දක්වා තෙදින තුළ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට කටයුතු කරයි. වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජයග්‍රහණය කර පස්වන වරටත් ජනාධිපතිවරයා ලෙස නිසැකයෙන් ම තේරී පත්වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය යි. ක්‍රෙම්ලිනය මැතිවරණයක් පැවැත්වීමට වද වෙන්නේ ඇයි සහ එය ජනාධිපති පූටින්ගේ සැබෑ ජනප්‍රියත්වය ගැන අපට පවසන්නේ කුමක් ද?

ව්ලැදිමීර් පූටින් 2000 වසරේ සිට රුසියාව සාර්ථක ලෙස පාලනය කරමින් සිටියි. ඔහුට පෙර එම ධූරය හෙබ වූ ජනාධිපති බොරිස් යෙල්ට්සින් විසින් මුල් වරට භාරකාර ජනාධිපති ධූරයට පත් කෙරුණු ඔහු 2000 වසරේ මාර්තු මාසයේදී සිය පළමු මැතිවරණ ජයග්‍රහණය සනිටුහන් කළේ ය. 2008 සහ 2012 අතර කාලයේ ඔහුගේ භූමිකාවන් මාරු වී අගමැති බවට පත් වූ නමුත් ඔහු සතු වූ බලය නොවෙනස්ව පැවතිණි. එකල රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයෙකුට අඛණ්ඩව සේවය කිරීමට අවසර ලබා දී තිබුණේ වාර දෙකක් සඳහා පමණි. නමුත් මෙය ඔහුට ඔහුගේ ධූර කාලය නැවත සකස් කර යළි තරග කිරීමට ඉඩ සලසා දුන්නේ ය.

2020 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන ලද අතර, ජනාධිපති පූටින් 2036 දක්වා බලයේ සිටිනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. එම කරුණට අනුව ඔහු වසර 30කට වැඩි කාලයක් බලයේ සිටි කොමියුනිස්ට් නායක ජෝසෆ් ස්ටාලින් සහ 18 වන සියවසේ මහා කැතරින් අධිරාජිණිය පරදවමින් රුසියාවේ දීර්ඝතම කාලයක් සිටි පාලකයා බවට පත් වීමට ඉඩ තිබිණි.

පූටින්ගේ සැබෑ ජනප්‍රියත්වය සහ පූටින්ට ලැබෙන සහය

Vladimir Putin operates a flight simulator during a visit to a military facility this month - the war in Ukraine is ever-present in life in Russia
ව්ලැදිමීර් පුටින් මේ මාසයේ හමුදා මධ්‍යස්ථානයක සංචාරයකදී පියාසැරි සිමියුලේටරයක් ​​ක්‍රියාත්මක කරන අයුරු

රුසියාවේ මැතිවරණ තරගකාරී වන්නේ ඉතා කලාතුරකිනි. නමුත් ඒවා වැදගත් වන්නේ බලයේ සිටින අයගේ නීත්‍යනුකූල බව තහවුරු කිරීමට සහ ජනතාවගේ මතය වැදගත් බව පෙන්වීමට ය.

රුසියාවට පමණක් නොව ලෝකයට ද කල්පවත්නා ප්‍රතිවිපාක ගෙන දෙන පූර්ණ පරිමාණ යුද්ධයකට ඔවුන් සම්බන්ධ වී ඇති බැවින් ව්ලැදිමීර් පූටින්ට ජයග්‍රහණය කිරීම පමණක් නොව, ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතය ඉහළ අගයක පැවතීම සහ වැඩි සහයෝගයක් ලැබීම මෙවර විශේෂයෙන් වැදගත් වේ.

රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම මැතිවරණය තම සංවිධානාත්මක හැකියාව සහ ජනාධිපතිවරයා සඳහා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගෙන දීමේ හැකියාව පරීක්ෂා කිරීමක් වනු ඇත.

රුසියානු ස්වාධීන ප්‍රවෘත්ති ආයතනයක් වන මෙඩූසා (Meduza) වාර්තා කළේ, ව්ලැදිමීර් පූටින් ඡන්ද 80%ක් පමණ ලබා ගනිමින් ක්‍රෙම්ලිනය අවම වශයෙන් 70%ක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන බව ය. මෙය 2018 වසරේදී දුටු ඔහුගේ 76.7% කොටස ඉක්මවා යනු ඇත.

එවැනි ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බලධාරීන්ගේ අරමුණ වන්නේ, මධ්‍යම සහ පළාත් පාලන ආයතන සඳහා මෙන් ම රජය සතු සංස්ථා සඳහා සේවය කරන රාජ්‍ය අංශයේ සේවකයන් බලමුලු ගැන්වීම බව බීබීසීය විසින් ම සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි විය. ඔවුන් මැතිවරණයට සහභාගී වීමට සහ වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට දැඩි ලෙස දිරිමත් කෙරෙනු ඇත.

මිලියන 112.3ක පමණ ජනතාවකට මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත.

මෙම සංඛ්‍යාවට 2014 වසරේදී රුසියාව විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගන්නා ලද යුක්රේනයේ රුසියානු හමුදා වාඩිලාගෙන සිටින ප්‍රදේශ එනම් ක්‍රිමියාව සහ ඩොන්බාස් කලාපයේ කොටස්වල වෙසෙන ජනතාව මෙන් ම, 2022 පෙබරවාරි මාසයේ සිට අල්ලා ගත් යුක්රේනයේ නැගෙනහිර සහ දකුණේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන ජනතාව ද ඇතුළත් වේ.

රුසියාව බදු ගෙන ඇති අභ්‍යාවකාශ යානා අභ්‍යාවකාශගත කිරීමේ මධ්‍යස්ථානය තිබෙන බයිකොනූර් පිහිටා ඇති අසල්වැසි කසක්ස්තානයේ 12,000ක් ඇතුළුව විදේශයන්හි වෙසෙන තවත් මිලියන 1.9ක රුසියානු පුරවැසියෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබති.

යුද්ධය සහ මැතිවරණය

ව්ලැදිමීර් පූටින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවති බොහෝ වැඩසටහන්වලට පෙනී සිටියේ ය. මූලික වශයෙන් විවිධ රුසියානු කලාපවල සිසුන් සහ කම්කරුවන් සමග පැවති හමුවලට ඔහු සම්බන්ධ විය.

Russia's President Vladimir Putin delivers a speech during the closing ceremony of the 2024 World Youth Festival
මෙම මැතිවරණයට පෙර 2024 ලෝක තරුණ උළෙලේ සමාප්ති උත්සවය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දේශනයක් පැවැත්වීය.

ඔහු යුක්රේන ආක්‍රමණය සඳහා මොස්කව්හි යෙදුම වන “විශේෂ මිලිටරි මෙහෙයුම” ගැන කතා කිරීමෙන් වැළකී සිටිය ද යුද්ධය රුසියානු ජන ජීවිතයට දැඩි ලෙස බලපා තිබේ. එනම්, ජාත්‍යන්තර සම්බාධක, වෙනත් රටවල් වෙත සංචාරය කිරීමට ඇති සීමා, විදේශ භාණ්ඩ රට තුළට පැමිණීම අඩු වීම සහ අවම වශයෙන් යුරෝපයෙන් සහ උතුරු අමෙරිකාවෙන් කොන් වී ඇතැයි වන හැඟීම එම බලපෑම් අතර වේ.

යුද්ධය හේතුවෙන් රුසියානු සෙබළුන් දහස් ගණනකගේ, නැතිනම් ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි වී ඇත.

වැඩි වශයෙන් තරුණ, උගත් සහ ධනවත් තවත් ලක්ෂ සංඛ්‍යාත රුසියානුවන් පසුගිය මාස 24 තුළ රට හැර ගොස් ඇත්තේ, ඔවුන් යුද්ධයට එකඟ නොවූ නිසා හෝ සටන් වැදීමට තමන් තෝරා ගැනීමට වූ අකමැත්ත නිසා ය.

මැතිවරණ ව්‍යාපාරයේ අන්තර්ගත නොවුණ ද යුද්ධ මාධ්‍ය වාර්තාවල ප්‍රධාන අංගයක් බවට පත්ව ඇති අතර රුසියානුවන්ට ඉන් වැළකී සිටීමට නොහැකි වී තිබේ.

Attendees, including relatives of fallen participants in the Russian military action in Ukraine, take part in a ceremony to honour those killed in the war
ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉහළ ප්‍රතිශතය ජනාධිපතිවරයාගේ අනාගත තීරණවලට නීත්‍යානුකූල භාවයක් එක් කරනු ඇත, ඒවායින් බොහොමයක් යුක්රේනයේ යුද්ධය ගැන සැලකිලිමත් වනු ඇත.

ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් සහ ජනාධිපතිවරයාට ලැබෙන ඉහළ සහයෝගය ඔහුගේ පසුකාලීන තීරණවලට නීත්‍යනුකූලභාවයක් එක් කරනු ඇති අතර ඒවායින් බොහොමයක් ආක්‍රමණයට ඍජුව ම සම්බන්ධ වනු ඇත.

අපේක්ෂකයින් කවු ද?

ව්ලැදිමීර් පූටින්ට අමතරව තවත් ලියාපදිංචි අපේක්ෂකයින් තිදෙනෙක් සිටිති: ජාතිකවාදී ගතානුගතික අදහස් දරන දේශපාලනඥයෙකු වන ලියොනිඩ් ස්ලට්ස්කි, කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි කරිටොනොව් සහ ‘ස්ටේට් ඩූමා’ ලෙස හැඳින් වෙන රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කුඩා නියෝජනයක් ඇති මෑතකදී ආරම්භ කරන ලද “නිව් පීපල්” පක්ෂයේ අපේක්ෂක, ව්‍යාපාරිකයෙකු වන ව්ලැදිස්ලාව් දවන්කොව් එම අපේක්ෂකයින් තිදෙනා වෙති.

ඔවුන් තිදෙනා ම යුක්රේනයේ රුසියාව ගෙන යන යුද්ධයට සහ ජනාධිපති පූටින්ට සහයෝගය පළ කර ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකු සැබෑ තර්ජනයක් ලෙස නොපෙනෙයි.

ඔහුගේ සැබෑ අභියෝගකරුවන් සිරගත කර, මරා දමා හෝ රටින් පැන ගොස් ඇත. පුටින්ගේ දරුණු ම ප්‍රතිවාදියා වූ ඇලෙක්සෙයි නවාල්නි පෙබරවාරි මාසයේදී අධිආරක්‍ෂිත බන්ධනාගාරයක් තුළදී මිය ගියේ ය.

තමන් ව්ලැදිමීර් පුටින්ට වඩා හොඳ ජනාධිපතිවරයෙකු බවට පත්වනු ඇති දැයි බීබීසීහි ස්ටීව් රෝසන්බර්ග් නිකොලායි කරිටොනොව්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු පිළිතුරු දුන්නේ, එය පැවසිය යුත්තේ තමන් නොව ඡන්දදායකයින් “සියල්ල තීරණය කරනු ඇති” බව ය.

ඒ අතර ම, කරිටොනොව්ගේ ඉල්ලා සිටින්නේ, “අනාගතයට යාමේදී වමට බරව තීන්දු තීරණ ගත යුතු බව” ය. ඔහු 2022 සිට බටහිර සම්බාධක යටතේ සිටී.

Russian Communist Party's Candidate for 2024 Presidential Elections Nikolay Kharitonov seen during a rally
ව්ලැදිමීර් පූටින්ට අමතරව තවත් ලියාපදිංචි අපේක්ෂකයින් තිදෙනෙක් සිටිති.ඔවුන් තිදෙනා ම යුක්රේනයේ රුසියාව ගෙන යන යුද්ධයට සහ ජනාධිපති පූටින්ට සහයෝගය පළ කර ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකු සැබෑ තර්ජනයක් ලෙස නොපෙනෙයි.

රුසියාවේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (නමුත් එවැනි ප්‍රතිපත්ති පක්ෂයේ ක්‍රියාකලාපයෙන් මතු නොවෙයි) මන්ත්‍රීවරයෙකු වන ලියොනිඩ් ස්ලට්ස්කි ලිංගික හිංසන චෝදනා රැසකට මුහුණ දී තිබේ. ඔහු රුසියානු හමුදා වාඩිලාගෙන සිටින ක්‍රිමියාවේ රාජ්‍ය සංචාර සංවිධානය කළ අතර 2014 සිට ජාත්‍යන්තර සම්බාධක යටතේ සිටියේ ය.

නව පක්ෂයක නවකයෙකු වන ව්ලැදිස්ලාව් දවන්කොව් එතරම් මධ්‍යවල පෙනී සිට නොමැත.

රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක සම-නිර්මාතෘ දවන්කොව් 2023 මොස්කව් නගරාධිපති මැතිවරණයෙන් ලබා ගත්තේ 5%කට වඩා සුළු ඡන්ද ප්‍රමාණයක් පමණි. යුක්රේනය සමග යුද්ධයේදී “සාමය සහ සාකච්ඡා” වෙනුවෙන් පෙනී සිටින අතරතුර, ඔහු යුක්රේන භූමි ප්‍රදේශ ඈඳා ගැනීමට සහය දැක්වීමට ඡන්දය දුන් අතර, එය ජාත්‍යන්තර සම්බාධකවලට යටත් වීමට ද හේතු විය.

යුද්ධ විරෝධී ජනාධිපති අපේක්ෂක බොරිස් නඩේෂ්ඩින්ට දස දහස් ගණනක් රුසියානුවන් සහය දැක්වීමට තම අත්සන් ලබා දීමට පෝලිම් ගැසී සිටිය ද, ඔහු අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි කිරීමට බලධාරීන් විසින් කටයුතු නොකිරිණි.

ඡන්ද ක්‍රියාපටිපාටිය

ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට රුසියානුවෝ මාර්තු 15 සිට 17 දක්වා දින තුනක් පුරා ඡන්දය ප්‍රකාශ කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එක් කිරීම සඳහා 2020 වසරේ පැවති ඡන්දය විමසීමේදී, එනම්, කොරෝනාවෛරස් වසංගතය සමයේ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ආකෘතිය ප්‍රථම වරට පරීක්‍ෂා කෙරිණි. ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සංකීර්ණ බව පවසමින් ස්වාධීන නිරීක්ෂකයින්ගේ විවේචනයට ලක් වුව ද මෙම මැතිවරණය සඳහා ද නැවත එම දින තුනක ක්‍රියාවලිය අනුගමනය කිරීමට පියවර ඇත.

රුසියානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ පළමු දිනයේ ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදී ඒවාට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රුසියානු බලධාරීහු පවසති.

මීට අමතරව, මැතිවරණ විරෝධතා සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශවල හෝ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සහතික කිරීමට බලධාරීන්ට ගැටලු මතුවන ප්‍රදේශවල ප්‍රථම වරට දූරස්ථ මාර්ගගත ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම මැතිවරණයේදී යුක්රේනයේ රුසියානු හමුදා වාඩිලාගෙන සිටින ප්‍රදේශ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද රුසියාව විවේචනයට ලක්ව ඇති අතර එහිදී එම ප්‍රදේශවල ජනතාවට බලපෑම් එල්ල වූ බව වාර්තා වේ.

යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ පාර්ලිමේන්තු සභාව 1993 සිට රුසියාව වෙත සිය නිරීක්ෂකයින් යවමින් සිටි නමුත් පසුගිය වසර තුන තුළ එය නතර විය.

වෙනස් වීමට ඉඩ ඇත්තේ කුමක් ද?

රුසියාවේ ස්වාධීන මත විමසුම් නොමැති අතර බොහෝ රුසියානුවන්ට ඔවුන්ගේ පුවත් ලැබෙන්නේ ව්ලැදිමීර් පූටින්ට සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස පක්ෂපාතී රාජ්‍ය මාධ්‍ය මගිනි.

A large queue of people gather to pay their respects at the funeral of Alexei Navalny
රුසියානු විපක්ෂයට විශාල මහජන සහයෝගයක් ප්‍රදර්ශන කිරීම අසාමාන්‍ය නමුත් සිරගත කරන ලද ජනපති පුටින්ගේ විවේචකයෙකු වූ ඇලෙක්සි නවාල්නිගේ අවමංගල්‍ය සඳහා දහස් ගණනක් මාර්තු 1 වන දින රැස්ව සිටියහ.

එහෙත් ප්‍රවීණයන් විශ්වාස කරන්නේ, මතුපිටින් පෙනෙන ආකාරයට වඩා රුසියානුවන් රජය දෙස සංශයවාදීව බලන නමුත් ඔවුන් ඒ ගැන හඬ නැගීමට බියෙන් පසුවන බව ය. විපක්ෂයට සහයෝගය දක්වන සුළු ප්‍රදර්ශන සඳහා පවා දැඩි දඬුවම් ලැබීමේ අවදානම නිසා ඔවුහු තම විරුද්ධත්වය විවෘතව ප්‍රකාශ නොකරති.

ඇලෙක්සෙයි නවාල්නිගේ වැන්දඹුව වන යූලියා, රටවැසියන්ගෙන් මෙම මැතිවරණය වර්ජනය කරන ලෙස ත් විදේශීය රජයන්ගෙන් මෙම මැතිවරණයේ ප්‍රතිඵල පිළිනොගන්නා ලෙස ත් ඉල්ලා ඇත.

දෙවැන්න විය නොහැක්කක් වුව ද, පළමුවැන්න හැකි ය. ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන මෙඩූසා (Meduza) ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අඩු වීමේ තර්ජනයක් ඇති බවට වන අව්‍යාජ හැඟීමක් ඇතැයි පැවසූ පූටින්ගේ පරිපාලනයට සමීප මූලාශ්‍රයක් උපුටා දැක්වීය. “වර්තමාන ජනාධිපතිවරයා දිනනවා කියලා මිනිස්සුන්ට සැකයක් නැත්නම්, ඇයි කොහේවත් යන්නේ?”

මෙම මැතිවරණයෙන් බොහෝ දුරට ලැබීමට ඉඩ ඇති ප්‍රතිඵලය වනුයේ, කෙසේ හෝ අවසන් ප්‍රතිඵලය අනුව ව්ලැදිමීර් පූටින් නිසැක වශයෙන් ම ජය ගැනීම ය. එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අඩු වීමෙන් අදහස් වන්නේ, ජනාධිපතිවරයාට ඇති සහයෝගය දුර්වල වී ඇති බව ත්, එමගින් පවතින තත්ත්වයට වඩා දැඩි රාජ්‍ය පාලනයක් ගෙන ඒම සහ රුසියාව තවදුරටත් බියගන්නාසුලු සහ පීඩාකාරී වාතාවරණයකට තල්ලු කළ හැකි බව ත් ය.

BBC News