ත්‍රීරෝද රථයෙන් ඇදවැටී හිසට බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බිරිඳ ඝාතනය කල බවට සැක පිට සැමියා අත්අඩංගුවට

0
හිසට බරපතළ තුවාල

ත්‍රීරෝද රථයෙන් ඇදවැටී හිසට බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බිරිඳ, මාසයකට පසු මියයාම ඝාතනයක් බවට සැකකර ඇයගේ සැමියාව අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය කටයුතු කර තිබේ.

බදුරලිය, මාරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කීය.

සැකකරු  2023 අප්‍රේල් 10 වනදා රාත්‍රියේ සිය බිරිඳ වන එම්. බී. කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇදවැටී තුවාල ලැබූ බව සඳහන් කරමින් බදුරලියේ ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබිණි.

ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමෙන් පසු 2023 මැයි මස 7 වනදා ඇය මියගොස් ඇති බව පොලීසිය කීය.

ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවසීය.

මොට ආයුධයකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් එම කාන්තාවගේ මරණය සිදුව ඇති බවට විශේෂඥ අධිකරණයට වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සටහන්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.