නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කරයි

0
නාගානන්ද කොඩිතුවක්කු

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන,  ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන් බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට ජීවිත කාලයටම බලපැවැත්වෙන පරිදි නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ලබාදී ඇති බව සඳහන්ය.

විත්තිකාර නාගානන්ද කොඩිතුවක්කු මහතා 2014 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින්, විනිසුරුවරුන් කිහිපදෙනෙකු දූෂිත බැවින් තමා විසින් ගොනුකරන නඩු කටයුතු ඔවුන් හමුවේ කැඳවීමට පියවර නොගන්නා ලෙස ඉල්ලීමක් සිදුකර තිබිණි.

එකී ක්‍රියාව මඟින් ඔහු විෂමාචාර නැමැති වරද සිදුකර ඇති බවට විනිසුරු මඩුල්ල අද (29) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වාදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ බව වහාම අදාළ අංශවලට දැනුම් දීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට දැනුම් දී තිබේ.