ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මිෂෙල් ඔබාමා ?

0
මිෂෙල් ඔබාමා

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙනුවට එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා ඉදිරියට පැමිණීමට හැකියාවක් පවතින බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Rasmussen Reports මඟින් සිදු කර ඇති මෙම මත විමසුමේදී, ජෝ බයිඩන් හැර වෙනත් අපේක්ෂකයෙකු එක්සත් ජනපද‍යේ ජනාධිපති ධුරයට තරඟ කිරීම වෙනුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් අඩක්කට ආසන්න ප්‍රමාණයක් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

එමෙන්ම,  මෙම සමීක්ෂණයේදී ,නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂය ජෝ බයිඩන් වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ අදහසට ඔවුන් සහාය දක්වන්නේ දැයි ඇසූ විට, ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 48% ක් ඊට සිය එකඟතාව පළ කර ඇති අතර  38% ක් එම තීරණයට එකඟ නොවන බව පවසා තිබුණා.

එමෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාගේ වෙනසක් සිදුවනු ඇතැයි විශ්වාස කරන බවට පවසා ඇත්තේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් 33% ක් පමණක් බවද වාර්තා වෙනවා.

81 හැවිරිදි ජෝ බයිඩන් වෙනුවට ඉදිරිපත් වී ඇති විකල්ප අපේක්ෂකයින් අතරින් මිෂෙල් ඔබාමා ඡන්ද 20 % ක් පමණ ලබා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම සමීක්ෂණයේදී අනෙකුත් අපේක්ෂකයින් අතරට මිචිගන් ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර්, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම්, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ උප ජනාධිපති කමලා හැරිස් ඇතුළත් වුණා.