ශ්‍රී ලංකා විවෘත ආර්ථිකයේ පුරෝගාමියා රොනී ද මෙල්

0
ශ්‍රී ලංකා විවෘත ආර්ථිකයේ පුරෝගාමියා රොනී ද මෙල්

ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලනඥයෙකු මෙන් ම හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් අඟහරුවාදා (පෙබ: 27) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

පවුලේ ඥාතීන් පවසන්නේ, 98 වන වියේ පසු වූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ය.

පරිපාලන නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කර ඇති රොනී ද මෙල්, පසුකාලීනව වඩාත් කතාබහට ලක්වූ ප්‍රබල දේශපාලනඥයෙකු බවට පත්විය.

රොනී ද මෙල්ගේ මුල් අවධිය

රොනී ද මෙල් උපත ලබා ඇත්තේ, 1925 වසරේ අප්‍රේල් 11 වන දා ය.

ඔහුගේ දෙමාපියන් 1948 වසරේදී ලංකා සිවිල් සේවයට එක්වූ ඔහු, කර්මාන්ත දෙපාර්තමේන්තුව, වවුනියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට අනුයුක්තව සේවය කළේ ය.

වූයේ, රොජට් ද මෙල් සහ ග්ලැඩිස් මෙන්ඩිස් දෙපළ ය.

රොනී ද මෙල් යනුවෙන් සිය නම භාවිත කළ ද, ඔහුගේ සැබෑ නම රොනල්ඩ් ජෝසෆ් ගොඩ්ෆ්‍රි ද මෙල් ය.

ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය.

ඔහු එහිදී හැදෑරූ ප්‍රධාන විෂයයන් වූයේ, ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් සහ ඉතිහාසය යි.

රොනී ද මෙල් නම්වූ සිවිල් සේවකයා

1948 වසරේදී ලංකා සිවිල් සේවයට එක්වූ ඔහු, කර්මාන්ත දෙපාර්තමේන්තුව, වවුනියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට අනුයුක්තව සේවය කළේ ය.

1950 වර්ෂයේදී ඔහු කම්කරු හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරයෙකු ලෙස පත් කරනු ලැබූ අතර, 1952 වසරේදී එහි නිත්‍ය සහකාර ලේකම්වරයෙකු ලෙස පත් කරන ලදී.

පසු කලෙක ඔහු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස ද සේවය කළේ ය.

1964 වසරේදී ඔහු සිවිල් සේවයෙන් විශ්‍රාම ගත්තේ ය.

රොනී ද මෙල්ගේ දේශපාලන ගමන්මග

ලංකා සිවිල් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දේශපාලනයට පිවිසියේ ය.

1965 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසියේ, පරාජයක් කරපින්නාගෙන ය.

එම වසරේදී පැවති මහ මැතිවරණයේදී බිබිල ආසනය නියෝජනය කරමින් තරග වැදුණු රොනී ද මෙල්, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ ධර්මදාස බණ්ඩා හමුවේ පරාජයට පත්විය.

ඉන්පසු ඔහු 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර අපේක්ෂකයා ලෙස තරග වදිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

1977 වසරේදී ඔහු යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.

අයවැය අඛණ්ඩව 11 වරක්

ඉන්පසු ඔහු 1977 වසරේ සිට 1988 වසර දක්වා වසර 11ක් පුරා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ මුදල් අමාත්‍ය ධූරය දැරීය.

ශ්‍රී ලංකා අයවැය ඉතිහාසයේ වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනාගෙන් රොනී ද මෙල් එක් අයෙකි. අනෙකා මහින්ද රාජපක්ෂ ය.

ඔවුන් දෙදෙනා ම 11 වරක් අයවැය ඉදිරිපත් කර ඇති අතර, අඛණ්ඩව 11 වරක් අයවැය ඉදිරිපත් කර ඇත්තේ, රොනී ද මෙල් ය.

මේ සම්බන්ධයෙන්, ලංකාදීප පුවත්පතට නිහාල් ජගත්චන්ද්‍ර සැපයූ ‘රොනීගේ හපන්කම්’ නමැති ලිපි මාලාවේ එක් ලිපියක මෙසේ සටහන් කර තිබිණි.

“1977 සිට එක දිගට අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇති රොනී ද මැල් නම් ඔහු තනිකර ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිෂ්පාදනයක් ලෙස හැඳින්වීම වඩාත් යුක්තිසහගත ය. අප එසේ කියන්නේ, ජේ.ආර්. ජයවර්ධන 1977 දී තමන් බලයට පත්වූ වහා ම රොනී ද මැල්ට තම ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ලබා දුන් බැවිනි.” (නිහාල් ජගත්චන්ද්‍ර – 2018 නොවැම්බර් 04)

විවෘත ආර්ථිකය ඇති කිරීමේ පුරෝගාමියා රොනී ද මෙල්

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ස්ථාපනය කිරීම සඳහා මූලික මෙහෙවරක් කළ රොනී ද මෙල් වර්ෂ 2004 දක්වා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සංස්කෘතිය, දේශපාලනය, සමාජය ඇතුළු සියල්ල උඩුයටිකුරු කළ විවෘත ආර්ථික සංකල්පයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ, රොනී ද මෙල් ය.

නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇති කිරීම සම්බන්ධයෙන් පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ ඔහු, වික්ටෝරියා, රන්දෙණිගල ආදී දැවැන්ත ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ කලාප ආදිය ඉදිකිරීම සඳහා යුරෝපා රටවල සහ මෙරිකාව වැනි ප්‍රබල රටවල් සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට සමත් විය.

හාස්‍යමය යෙදුම්

රොනී ද මෙල් පිළිබඳව විවිධ අදහස් ජනතාව අතර පැවතිණි. ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් හාස්‍යමය යෙදුම් ද එවකට සමාජයේ පමණක් නොව මාධ්‍යවල ද භාවිත විය.

ඉන් එකක් වන්නේ, ‘රොනී පනී’ යන්න ය.

ඔහු වරින් වර පක්ෂ මාරු කිරීම සැලකිල්ලට ගනිමින් සමාජය තුළ ඔහුට මෙම යෙදුම පටබැඳී තිබිණි.

තවත් යෙදුමක් වන්නේ, ‘රොනී ද මෙල් – රොටී ද පොල්’ යන්න ය.

ඔහු දිගු කලක් අයවැය ඉදිරිපත් කිරීම හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව කෙරෙහි ඔහු යම් බලපෑමක් වී තිබිණි. ඒ අනුව, ඔහුට මෙවැනි යෙදුම් භාවිත කෙරිණි.

BBC News