නව පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් 36 වන පොලිස්පතිවීම දක්වා ගමන

0
දේශබන්දු තෙන්නකෝන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (පෙබරවාරි 26 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් වෙත පිරිනමා තිබේ.

නව පොලිස්පති
පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පෙබරවාරි 26 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් වෙත පිරිනමා තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් (නොවැම්බර් 29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබීය.

ඒ, වසර 150කට අධික දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සඳහා සුදුස්සෙකු පත් කිරීමට නොහැකිව මාස 8 කට අධික කාලයක් ගතවූ පසුබිම තුළය.

නොවැම්බර් 24 වෙනිදා ධුරයෙන් විශ්‍රාම ගිය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න හට අවස්ථා 4 කදී සේවා දිගු ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

අප කළ විමසීමකදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මාස 3 ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය.

හිටපු පොලිස්පතිට ලබා දුන් සේවා දිගු

පසුගිය මාර්තු 25 වනදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබු සී.ඩී. වික්‍රමරත්න හට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක සේවා දිගුවක් ඔහුට හිමිවිය.

තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා ඔහුට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට නොවැම්බර් මස 24 වෙනිදා දක්වා බලපැවැත්වුණි.

කෙසේවුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සී.ඩි. වික්‍රමරත්නට පොලිස්පති ධුරය සඳහා තෙවන සහ සිව්වන අවස්ථාවලටත් සේවා දිගු ලබා දීමට ව්‍යවස්ථාදායක සභාවෙන් අවසරය හිමිවුයේ නැත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මාස 3 ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ මාස 3 ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය.

ව්‍යවස්ථාදායක සභාවට ජනපතිගෙන් එල්ලවූ චෝදනාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පළමු අවස්ථාවේදී සි.ඩි.වික්‍රමරත්න පත් කිරීමෙන් පසු ඔහුගේ නම නැවත නැවතත් යෝජනා කිරීම නිසා ව්‍යවස්ථාදායක සභාව විසින් හිටපු පොලිස්පතිවරයාගේ නම ප්‍රතික්ෂේප කෙරුණි.

මේ අතර පසුගිය නොවැම්බර් මස 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවට මෙවන් චෝදනාවක් එල්ල කළේය.

“විශේෂයෙන් දැන් වෙලා තියෙන්නේ පොලිස්පතිවරයෙකුත් නැහැ ඒ වගේම විනිශ්චයකාරවරයෙකුත් නැහැ. මම දන්නේ නෑ ඉතින් කොහොමද යුක්තිය පසිඳලන්නේ කියලා.”

“පොලිසියටත් වැඩ කරන්න බැහැ, උසාවියටත් වැඩ කරන්න බැහැ.”

“විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න සමහර සාමාජිකයෝ මේ වැඩකටයුතු කඩාකප්පල් කරන්න කියලා ඇතුළෙන් ගෙනියනවා නම් අපිට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ලබන සතිය වෙනකොට මේ කොමිසම ගැන විමර්ශනය කරන්න කියලා වෙනම තේරීම් කමිටුවක් පත් කරන්න යනවා” ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ජනාධිපතිට එල්ලවූ චෝදනා

වත්මන් පොලිස්පති ධුරය වෙනුවෙන් සුදුස්සෙකු නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන බවට විපක්ෂයේ දේශපාලඥයින් කලක සිටම චෝදනා එල්ල කළේය.

සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වරක් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ චෝදනා ඇති පුද්ගලයින් පොලිස්පති තනතුරට පත් නොකළ යුතු බවයි.

රට හැදීමට නම් සුදුසු පුද්ගලයින් තනතුරු වලට පත්කළ යුතු බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

මේ අතර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දක්වමින් පැවසුවේ චෝදනා එල්ල වී නොමැති නිලධාරියෙකු පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බවයි.

ඔහු පැවසුවේ එම තනතුර සඳහා පත් කළ හැකි චෝදනා නොමැති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිටින බවයි.

නව පොලිස්පති පුටුවට හිමිකම් කීමට ලැයිස්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කවුද ?

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් නිලධාරීන් කිහිපදෙනෙකු පොලිස්පති ධුරයට පත්වීම සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටියේය.

ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන (පරිපාලන අංශය), ලලිත් පතිනායක (වයඹ පළාත), දේශබන්දු තෙන්නකෝන් (බස්නාහිර පළාත) සහ ප්‍රියන්ත වීරසුරිය (අපරාධ කොට්ඨාශය භාර) යන නිලධාරීන් ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව අනුව මීළඟ පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන් තිබේ.

ඒ අතරින් දේශබන්දු තෙන්නකෝන් (බස්නාහිර පළාත) නව පොලිස්පතිවරයා ලෙස පත්වෙනු ඇති බවට බොහෝ ඉඟි පසුගිය කාලය පුරා විටින් විට ලැබී තිබු පසුබිමක අද දින ඔහු වැඩබලන පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කෙරිණි.

වැඩබලන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් කියන්නේ කවුද ?

2019 අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු දිවයින පුරා ඉලක්ක 08කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ අවස්ථාවේදී එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ – උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබිය.

එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට එවක සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වසරේ සැප්තැම්බර් මස 20 වනදා පංච පුද්ගල කොමිසමක් පත් කළේය.

කොමිසම විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කොළඹ උතුරු දිසාව භාර කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබුණි.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

දේශබන්දු තෙන්නකෝන් 2006 වර්ෂයේදී පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබුවේය. අනතුරුව ඔහු 2006 – 2009 වකවානුව තුළ බස්නාහිර පළාතේ නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.

2011වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබන ඔහු 2012 – 2015 කාලසීමාව තුළ මාතර පොලිස් කොට්ඨාසය භාර නිලධාරියා වශයෙන් කටයුතු කළේය.

ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබන්නේ 2015 වර්ෂයේදීය.වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද, පසුව බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම අපරාධ, අපරාධ බුද්ධි සහ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළේය.

2019 වර්ෂයේ නොවැම්බර් මස 29 වෙනිදා දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඔහු 2020 වසරේ ජනවාරි මස 01 වෙනිදා දින සිට එම තනතුරේ ස්ථිර පත්විම් ලබුවේය.

2019 වසරේ දෙසැම්බර් මස 05 වෙනිදා සිට මේ දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරනු ලබයි.

ඒ අනුව අද (නොවැම්බර් 29 වැනිදා) සිට ඉදිරි මාස තුනක කාලය සඳහා ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරනු ඇත.

ජාතික ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවේ පෙරමුණට

තම ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමුවැන්න ජාතික ආරක්ෂාව බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේබව පැවසීය.

“මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු දරපු නිලධාරියෙක්. ඉතින් අපිට අත්දැකීම් තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයනවා.”

“මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කාර්යයන්.”

“දෙවැනි ප්‍රමුඛතාව මේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම. අද ගම් දනව්වල වගේම පාසල් දරුවන්ටත් මේක විශාල ගැටලුවක් වෙලා තිබෙනවා.. මේ හැමතැනම පැතිරිලා තිබෙන්නෙ මත්ද්‍රව්‍ය.”

“ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

“ඒ වගේම සංවිධානාත්මක අපරාධවලින් ඇතිවෙලා තිබෙන තර්ජනය.. කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ.”

“මගේ සේවා ලබාගත්තු අය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියලා. මා සමග වැඩ කළ නිලධාරීනුත් ඒක දන්නවා. දැන් මගේ ක්‍රියාවෙන් ඒක දැකගන්න පුළුවන් වෙයි.”

BBC News