සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීමේ සිද්ධියේ සැකකරුවෙක් අල්ලයි සියල්ල හෙළිවෙයි

0
සැකකරුවන් දෙදෙනෙකුට වස

සැකකරුවන් වැලිසර හා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

ආදුරුප්පුවීදිය පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකුට, ඔවුන් බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් වස සහිත කෑම ලබාදී තිබුණේ පසුගිය 7 වනදා ය.

වස ශරීරගතවී රෝහල්ගත කළ පුද්ගලයා මේවන විට සුවය ලබා ඇති අතර සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ආදුරුප්පුවීදිය පොලීසියට භාරදුනි.

මේ අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුට වස සහිත කෑම ලබාදුන් බව පැවසෙන තැනැත්තා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම ප්‍රධාන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි මදුර්ෂන් නැමැති 26 හැවිරිදි අයෙකි.

කුඩු සෙල්විගේ පුත්‍රයා සහ කංජිපානි ඉම්රාන් දුරකථනයෙන් ඔහු අමතා උදව්වක් ලෙස එම කෑම ගෙනගොස් දෙන මෙන් ඉල්ලා ඇති බව පොලීසිය කළ මූලික විමර්ශනයේදී හෙළිවී තිබුණි.

සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

මේ අතර ප්‍රධාන සැකකරුට වස මිශ්‍ර කෑම ලබාදුන් මෙම රූප රාමුවල සිටින රත්නකුමාර් නිශාන්තන් නැමැති 31 හැවිරිදි පුද්ගලයාද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොටහේන ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පවසා ඇත්තේ, වෙනත් පුද්ගලයෙක් තමන්ට වස මිශ්‍ර ආහාර පාර්සලය ලබාදුන් බවය.

එම ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවත් මෙම පුද්ගලයා වසර 4ක් පමණ ඖෂධහලක සේවය කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මේ අතර සැකකරුවන් දෙදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද ඉදිරිපත් කරනු ලැබීය.

ඉන්පසුව ප්‍රධාන සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුට දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

අනෙක් සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සැකකරුද දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

මේ අතර ඊයේ දිවයිනට රැගෙන ආ කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන පියුමා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නේය.

හරක් කටා හා කුඩු සළිඳු සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන්නේ ද මහජන පැමිණිලි අංශය මගිනි.

මේ අතර පියුමා නැමැති සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද දහවල් ඉදිරිපත් කරනු ලැබීය.