අසැලවැසියෙක් එල්ල කල කඩු පහරකින් කොල්ලකරුවකු මියයයි. තවත් අයකු තුවාල ලබා පැනයයි

0
කොල්ලකරුවකු මියගොස්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට තියුණු ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත.

11 දා අලුයම 3.30ට පමණ සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි ශකිල නමැති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙකි.

මෙහිදී කොල්ලකෑමට පැමිණි තවත් දෙදෙනකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධියට මුහුණපා ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි එළවළු ව්‍යාපාරිකයෙකි. මෙම ව්‍යාපාරිකයා දෛනිකව එළවළු ව්‍යාපාර කටයුතු සඳහා අලුයම 2.00ට පමණ නිවසින් පිටව යෑම පුරුද්දක් ලෙස සිදු කරයි.

ඔහුගේ බිරිඳ සහ දියණියන් සිව් දෙනා නිවසේ සිටි අතර ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස අසල්වැසි තරුණයකුට භාර දී යෑම ව්‍යාපාරිකයාගේ සිරිතකි.

අලුයම 3.00ට පමණ ව්‍යාපාරිකයාගේ නිවස දෙසින් බල්ලන් බුරන හඬක් ඇසී අසල්වැසි තරුණයා ඒ පිළිබඳව විමසා ව්‍යාපාරිකයාගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

එහිදී ඇය පවසා ඇත්තේ නිවසින් පිටත කිහිප දෙනකු සිටින බවයි. පසුව අසල්වැසි තරුණයා කඩුවක් ද රැගෙන ව්‍යාපාරිකයාගේ නිවස වෙත පැමිණ එහි ඉදිරිපස දොර කඩාගෙන ඇතුළුවී තිබේ.

ඒ වනවිට මුහුණ වසා ගත් කොල්ලකරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් සන්නද්ධව නිවස තුළ සිට ඇති අතර ඔවුන් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණියන් සිව්දෙනා කාමරයකට දමා අගුල් දමා නිවස කොල්ලකමින් සිට ඇත.

ඒ අවස්ථාවේ කොල්ලකරුවන් අසල්වැසි තරුණයාට ආයුධවලින් පහරදීමට උත්සාහ කර ඇති අතර ඔහු ද පෙරළා ඔවුන්ට කඩුවෙන් පහරදී තිබේ.

කඩු ප්‍රහාරවලින් එක් කොල්ලකරුවකු බිම ඇද වැටී ඇති අතර අනෙක් දෙදෙනා නිවසින් පළාගොස් ඇත. පළාගිය එක් කොල්ලකරුවකු ද තරුණයාගේ කඩු ප්‍රහාරයකට ලක්ව සිටි බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ප්‍රහාරයට ලක්වූ කොල්ලකරුවා නිවස තුළම මියගොස් තිබේ. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.