මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැන විශේෂ පැහැදිලිකිරීමක්

0
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව සහ පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳව කථානායක කාර්යාලය විසින් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ,

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීම සහ ඉන් පසුව බලාත්මක කරනු ලැබීම පිළිබඳව පළවන වාර්තා පොදු යහපත පිණිස නිවැරදි කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබේ. මහජනතාවගේ දැනගැනීම පිණිස සහ රැවටීමට ලක්වීම වැළැක්වීම සඳහා, නීතියක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙසේ පැහැදිලි කරනු ලැබේ.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විරෝධතා සලකා බලනු ලැබීමෙන් අනතුරුව සති තුනක කාලයක් ඇතුළත ස්වකීය තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙනු ලැබේ. කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව එළඹෙන පළමු වැනි පාර්ලිමේන්තු රැස්වීම් සතියේ පළමු වැනි දිනයේ දී ම එම තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර, එම සම්පූර්ණ තීරණය එදින ම පර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙහි පළ කරන ලෙසට ද නියෝග කරයි.

ඉහත සඳහන් කළ ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින්, 2023 ඔක්තෝබර් 03 වැනි දින මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කථානායකතුමා 2023 නොවැම්බර් මස 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර එය එදින හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙසට ද නියෝග කළේය. ඉන් පසුව එය උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට ප්‍රවේශ විය හැකි ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව, අදාළ අමාත්‍යාංශය විසින් (මෙහිදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශය) නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි මෙම සංශෝධන ඉදිරිපත් කිරීම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් සිදු කරනු ලැබේ. එම සංශෝධන භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දෙනු ලැබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාවලිය ම අනුගමනය කරන ලද අතර, එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේ පළමු වැනි දිනය වූ 2024 ජනවාරි 23 වැනි දින පෙරවරුවේ අදාළ සංශෝධන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර බෙදා දෙන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දින දෙකක් විවාදයට ගනු ලැබූ අතර, එහි කාරක සභා අවස්ථාව එම විවාදයේ දෙවැනි දිනය වූ 2024 ජනවාරි 24 වැනි දින පස්වරු 5.00 ට ආරම්භ විය. එම පනත් කෙටුම්පත වගන්තියෙන් වගන්තිය සම්මත කර ගන්නා අවස්ථාවේ කථානායකතුමා මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද සංශෝධන ලැයිස්තුව අනුව එක් එක් සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සභාවට ඉදිරිපත් කිරීමට සැලැස්වූයේය. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ඇති නිල මැදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ සංශෝධන මගින් ඇතුළත් කර ඇති බව කථානායකතුමාට දැනුම් දුන්නේය. මේ අවස්ථාවේ ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා යම් යම් ගැටලු ඉස්මතු කළ බැවින්, ඒ සම්බන්ධයෙන් ඒ මහතාට වැඩිදුරටත් කරුණු පැහැදිලි කර දෙන ලෙස කථානායකතුමා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව කටයුතු කළේය.

එකී සංශෝධන ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සලකා බලනු ලැබීමෙන් අනතුරුව, සෑම පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ම අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරමින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද තුන්වැනි වර කියවීමෙන් පසුව යථා පරිදි පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එම අවස්ථාවේදී නීතිපතිවරයා මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් ලබා දී ඇති උපදෙස් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කරමින් ස්වකීය සහතිකය ද ලබා දුන්නේය.

මෙම සමස්ත ක්‍රියාවලියේදී ම, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව කවර හෝ පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයක්/සංශෝධන සහ/හෝ නිර්දේශ/යෝජනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට වගකීමක් හෝ බලයක් නැත. එම බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුව සතු වේ; එනම් එහි මන්ත්‍රීවරුන්ට, බොහෝ විට බහුතර ඡන්දයෙන් එය සිදු කළ හැක.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ විට, ආණ්ඩුකම ව්‍යවස්ථාවෙහි 79 සහ 80 ව්‍යවස්ථාවන් ප්‍රකාරව එම පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය අත්සන් කිරීමට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බැඳී සිටියි. ඒ අනුව කථානායකතුමා අදාළ සංශෝධන ද අන්තර්ගත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත බවට පත් කරමින් එකී පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය 2024.02.02 වැනි දින අත්සන් කළේය.

මේ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමග එක්ව සිදුකරන ඒකාබද්ධ ක්‍රියාවලියක්  බැවින්, පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට අනුකූල නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයකට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැත.

මෙම ක්‍රියාවලිය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටිය යුතු අය මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට ස්වකීය අභිමතය පරිදි නීති පැනවීමට හෝ පනත් කෙටුම්පත්වලට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි බවට අවධාරණය කිරීම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන්ගේම දැනුමට කරන අපහාසයකි.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ චර්යාව හේතුවෙන් මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හා අනුකූල වන බව සහතික කිරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ද පැමිණ සිටීම අවශ්‍ය කරන තරමට (2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනතෙන් පසුව) එම මන්ත්‍රීවරුන්ගේ සවිඥාණය වැඩිදියුණු වී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණක් වන නමුත්, ඉහත පැහැදිලි කළ පරිදි කථානායකවරයාට එවැනි ගැටලු සම්බන්ධයෙන් කිසිදු අභිමතයක් නොමැති බැවින්, නොසලකා හරිනු ලැබ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද කවර නිර්දේශ දැයි එම මන්ත්‍රීවරුන් නිශ්චිතව සඳහන් කරන්නේ නම් අදාළ බලධාරීන්ට එවැනි චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැමිණ 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගැනීම හා සම්බන්ධ සියලු ම ලියකියවිලි සහ ක්‍රියාපටිපාටි පරීක්‍ෂා කර කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට සහ විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකි බැවින් ඒ සඳහා සාදරයෙන් ආරධනය කරන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලට ගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලූවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලය සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් නැවත සිහිපත් කර දෙයි.

එච්.ඊ. ජනකාන්ත සිල්වා,
අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන)
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව.
072 366 9163