හදමු අලුත් රටක් තේමාවෙන් පැවති 76 වන ජාතික නිදහස් දින සැමරුම සාර්ථකව අවසන්

0
හදමු අලුත් රටක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර ජාතික දින උත්සවයේ තේමාව වුයේ ‘හදමු අලුත් රටක්’ යන්නයි.

ප්‍රථමයෙන් ගාලුමුවදොර වෙත ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදුවූ අතර වැඩබලන පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ආරක්ෂක ලේකම්වරයා, අගවිනිසුරුවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවුණේ ඉන් අනතුරුවයි.

විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙවර උත්සවයට සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා සහභාගි විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ විය.

අනතුරුව ජාතික ගීය ගායනයෙන් සැමරුමේ කටයුතු නිල වශයෙන් ඇරඹිණි.

ජාතිය වෙනුවෙන් දිවි පිදු විරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩි 2ක නිහඬතාවක් ද පැවැත්විණි.

ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය හා ආචාර වෙඩි මුර 21ක් පිරිනැමුණේ ඉන් අනතුරුවයි.

76 වන ජාතික නිදහස් දින සමරුවේ අභිමානවත් ආචාර පෙළපාලිය ආරම්භ කරමින් ත්‍රිවිධ හමුදාව හා පොලිස් නිලධාරිහු ජාතික ධජ රැගෙන පළමුව ගමන් කළ හ.

ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් යානා ගාලුමුවදොර ඉහළ අහසේ පියාසර කරමින් 76 වන ජාතික නිදහස් දින සැමරුමට සිය ආචාරය පුද කළේය.

එමෙන්ම ත්‍රිවිධ හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පැරෂූට් සන්දර්ශනය ජාතික නිදහස් උලෙළ වර්ණවත් කරනු ලැබිණි.

අනතුරුව දේශීය සංස්කෘතිකාංග ඇතුළත් නර්තන සංදර්ශනයක් ද පැවැත්විණි.

76 වන ජාතික නිදහස් දින සමරුව අවසන් කෙරුණේ, ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමෙන් අනතුරුවයි.