හිස් වූ දේශපාලන නායකත්වය බාරගන්න සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට

0
දේශපාලන නායකත්වය

දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති වූවද තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ  බව අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පවසනවා.

පසුගිය දා සිදුවු රිය අනතුරකින් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ නීතිඥ  චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළා.

තමා විසින් සනත් නිශාන්ත මහතා වන සිය සැමියාගේ දේශපාලන වැඩකටයුතුවලින් හරි අඩක් පමණ මෙහෙය වූවත් කිසිදිනෙක දේශපාලනයට පැමිණීමට අපේක්ෂාවක් නොනිබුණු බවද ඇය මෙහිදී පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දී වැඩිදුරටත් අදහස් පළ කළ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය,

“මගේ මහත්මයා පුත්තලම් දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාක්වත් හිස් අතින් ඇරියේ නෑ. එයාට වූ විපත මටත් දරුවන්ටත් අදහාගන්න බෑ. හරියට හීනයක් දැක්කා වගේ. මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.

මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස්  වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මට දැන් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා මගේ දරුවන් සිව්දෙනාගේ අනාගතය  පිළිබඳව. “