විශ්ව බුද්ධ ගැන තොරතුරු රැසක් එලියට. රෝෂාන් මේනක ලෙස නමත් වෙනස්වෙයි

0
විශ්ව බුද්ධ

විශ්ව බුද්ධ නමින් තමන්ව හඳුන්වාගන්නා තැනැත්තා පිළිබඳව තවත් තොරතුරු රැසක් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ 2022 ජනවාරි මාසයේ සිට 2023 දෙසැම්බර් දක්වා කාලය තුළ ඔහුගේ ගිණුමට රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් තැන්පත් වී ඇති බවය.

එහෙත් “විශ්ව බුද්ධ” සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවීමට ආසන්න කාලයේ එම මුදල් සියල්ල ආපසු ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.

මේ අතර භික්ෂුභාවය මේ වනවිට අහෝසි කර ඇති බැවින් ඔහු තවදුරටත් භික්ෂුවක් ලෙස නොසැලකිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින විශ්ව බුද්ධ නමින් තමන්ව හඳුන්වාගන්නා රෝෂාන් මේනක රණසිංහ නැමැති තැනැත්තා සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

එහිදි සැකකරු ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කළා.

” ස්වාමිනි, බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටින මෙම සැකකරු ඔබතුමන්ගේ අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටියදී, ඔහු යළි එම වරදම අඛණ්ඩව සිදුකර තිබෙනවා.ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා මේ අධිකරණයේදීම සමාව ගත්තු සේපාල අමරසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල සහ මාධ්‍යවේදියෙකු සමඟ මොහු සාකච්ඡාවන්ට එක්වෙලා තියෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සාකච්ඡාව කළාට පසුදින මොහු විසින්ම යළි වීඩියෝවක් පළ කරලා තියෙනවා ගංජා භාවිතා කරන්න දීලයි අදාළ වැඩසටහනට සහභාගි කරව ගත්තේ කියලා. එබැවින් ස්වාමිනි පැහැදිලිව පෙනෙනවා මෙම තැනැත්තාගේ මානසීක තත්ත්වයේ ගැටලුවක් තියෙනවා කියලා. “

මෙහිදී සැකකරු සම්බන්ධයෙන් විමර්ශනවලදී අනාවරණය වී ඇති වැදගත් කරුණු කිහිපයක්ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ අවධානයට යොමු කළේය.

” ස්වාමීනි, විශ්ව බුද්ධ නමින් තමන්ව හඳුන්වාගන්නා මෙම සැකකරුගේ ගිහි නම රොෂාන් මේනක රණසිංහ. මොහු පළමුව රාමඤ්ඤ නිකායෙන් උපසම්පදාව ලබාගෙන ඇත්තේ 1998 වර්ෂයේ රාගම ඇල්පිටිවල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේදී. නමුත් මොහු භික්ෂුවක් ලෙස සිවුර දරාගෙන සිට ඇත්තේ මාස 06කටත් අඩු කාලයක්. පසුව මොහු සිවුර හැර සිංගප්පුරුවේ රැකියාවකට ගොස් තිබෙනවා. අනතුරුව 2019 වසරේ යළි දිවයිනට පැමිණෙන මොහු දෙවන වරටත් පැවිදිවෙනවා. විමතියට කරුණක් වන්නේ ස්වාමිනි මොහු එලෙස යළි පැවිදිවෙන්නෙත් පෙර උපසම්පදාව ලබාගත් නිකායෙන්මයි. එවිට තමයි මොහු විමලබුද්ධි හිමි කියලා නම යොදාගන්නේ. කොහොම වුනත් ස්වාමිනි මොහු භික්ෂුවක් වුනාට මොහුට කියලා විහාරයක්වත්, දායකයන්වත් ඉඳලා නැහැ. නමුත් 2022 ජනවාරි මාසයේ සිට 2023 දෙසැම්බර් දක්වා කාලය තුළ මොහුගේ ගිණුමේ රුපියල් විසිපන් ලක්ෂ අනු දෙදහසකට වැඩි මුදලක් තැන්පත්වෙලා තියෙනවා. එහෙත් මොහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවෙන්න ආසන්න කාලයේ එම මුදල් සියල්ල ආපසු ලබාගෙනත් තියෙනවා. අවසන් වශයෙන් අපි ගිණුම් පරික්ෂා කරද්දි එහි තිබුණේ රුපියල් 1000කටත් අඩු මුදලක් ” 

අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා කරුණු දැක්වීය.

“ස්වාමීනි අධිකරණය ඉදිරියේ අවස්ථා කිහිපයකදී කියැවුණා මෙම සැකකරු රාමඤ්ඤ නිකායට අයත් භික්ෂුවක් කියලා. එහෙත් ස්වාමීනි රාමඤ්ඤ නිකායේ මහානායක අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන නාහිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට කළ ලිඛිත දැනුම්දීමකට අනුව 2024.01.12 මෙම සැකකාර චීවරධාරියාගේ භික්ෂුභාවය අහෝසි කර තිබෙනවා. එබැවින් මොහුව තවදුරටත් භික්ෂුවක් ලෙස නොසලකන ලෙස අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “

එම කරුණු සැලකිරීම පිළිබඳ අවධානය යොමුකළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ සිය සේවාදායකයා අද දින අධිකරණය ඉදිරියේද සිවුරකින් සැරසි නොමැති බැවින් ඔහුව මින් ඉදිරියට ගිහියෙක් ලෙස පමණක් සලකන ලෙසටය.

කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුට දැඩිව අවවාද කළේය.

” නඩුවක් පවතිද්දී ඊට පාදක වූ ප්‍රකාශ හා සමානම ප්‍රකාශ නිකුත් කිරීම බරපතල තත්ත්වයක්. මම අද දිනයේ ඇප අවලංගු කරන්නේ නැහැ. නමුත් මේ පෙර ඇප මත මුදාහරින පළමු සහ අවසන් වතාව. යළිත් වරක් මෙලෙස අධිකරණය ඉදිරියට ආවොත් පහසුවෙන්ම ඇප අවලංගු කරලා රිමාන්ඩ් කරනවා.”

ඒ අනුව මෙම නීති කෘත්‍යය මාර්තු 28 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නීති කෘත්‍යයට අදාළව සැකකාර විශ්ව බුද්ධ නමින් පෙනි සිටින්නා පෙබරවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බන්ධනාගාර නිලධාරින් සැකකරුව යළි බන්ධනාගාරයට රැගෙන ගියේය.