ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව සහ ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනේ

0
ලොරෙන්සෝ පුතා 4

අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ ලොරෙන්සෝ පුතා 4 ’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු කියා සිටියේ සීෂෙල්ස් ආරක්ෂක අංශ විසින් යාත්‍රාව සහ ධීවරයින් පිරිස බේරා ගෙන ඇති බවය.

ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ඒබව දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.

‘ලොරෙන්සෝ පුතා 4’ හිමිකරු පැවසුවේ යාත්‍රාවේ සිටි සිටින කාර්ය මණ්ඩල සමාජිකයින් සමග මීට ටික වේලාවකට පෙර තමන් කතා කළ බවය.

ඔවුන් සුවෙන් පසුවන බවත් යාත්‍රාව සීෂෙල්ස් වෙත රැගෙන යමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

‘ලොරෙන්සෝ  පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස්  මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මොකද කියන්නේ ?

අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස තම සම්බන්ධීකරණයෙන් මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව නිවේදනය කළේ, අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන්, සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අද දින (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්වූ බවය.

නාවික හමුදාව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීෂෙල්ස් සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඇතුළු කලාපීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන දැනුවත් කර ඒකාබද්ධ මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන් මැඩපැවැත්වීමේ මෙහෙයුම් (Anti-Piracy Operations) සිදුකරනු ලබන ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combine Maritime Force – CMF) සහ කලාපීය නාවික හමුදාවන් වෙතින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව තොරතුරු හුවමාරු කරගනිමින් සාමූහිකව සිදුකල මෙම මෙහෙයුමෙහි ප්‍රතිඵලයක් ලෙස, සීෂෙල්ස් ආරක්‍ෂක බලකාය (Seychelles Defence Forces) විසින් එරට වෙරළාරක්‍ෂක බලකායට අයත් “TOPAZ” නමැති වෙරළාරක්‍ෂක මුර සංචාරක නෞකාව, එරට ප්‍රධාන දූපත වන “මාහේ” දූපතේ සිට නාවික සැතපුම් 230ක් දුරින් පිහිටි එරට අනන්‍ය ආර්ථික කලාපයට අයත් මුහුදු ප්‍රදේශය වෙත යොමු කර තිබේ.

ඒ අනුව, ඊයේ දින (2024 ජනවාරි 29) එම මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාව මුහුදු මංකොල්ලකරුවන්ගේ තිදෙනෙකු (03) සමඟින් සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බලකායේ “TOPAZ” වෙරළාරක්‍ෂක නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි මෙරට ධීවරයින් හය (06) දෙනා මෙලෙස නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

මේවන විට “TOPAZ”නෞකාව මඟින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ධීවරයින් හය දෙනා (06) සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් පවතියි.

ලොරෙන්සෝ පුතා 4

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලංකික ධීවරයන් හයදෙනෙකු පසුගිය 27 වැනි දින දහවල් පැහැර ගැනීමට ලක්විය.

ඉරානයට අයත් අඩි හැටක් පමණ දිග යාත්‍රාවකින් පැමිණි තිදෙනෙකු මේ කොල්ලය සිදු කර ඇති බව දැනුම් දුන් බව ‘ලොරෙන්සෝ 4’ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ජනවාරි 12 වැනිදා මෙම යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ දික්ඕවිට ධීවර වරායෙනි.

“අඩි හැටක් විතර දිග ඉරානයට අයිති යාත්‍රාවකින් ඇවිල්ලා තමයි මගේ බහුදින ධීවර යාත්‍රාව කොල්ල කලා තියෙන්නේ.මගේ යාත්‍රාවෙන් දැනුම් දීලා තියෙන්නේ සෝමාලියාවේ තුන්දෙනෙක් තමයි යාත්‍රාවට නැගලා අහසට වෙඩි තියලා මේ දේ කලේ කියලා. එදා උදේ මම පැයක් විතර කතා කළා බෝට්ටුවේ හිටපු හය දෙනාත් එක්කම.ඒ අය සියලු දෙනා හොඳින් ඉන්නවා කියලා කිව්වා “

මහා මුහුදේ ඉරාන මිතුදම

ජාත්‍යන්තර මුහුදේදී ධීවරයන් කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර නීතියට අනුකුලවය.ඊට අමතරව අවශ්‍යතාවයක් වූ විට ධීවරයින් එකිනෙකා සුහදව සහයෝගය දැක්වීමද සිදුවේ. විශේෂයෙන්ම මෙරට ධීවරයින් ඉරාන ධීවරයන් සමග හොඳ මිතු දමක් පවතින අතර අහාර බෙදා ගැනීම ඇතුළු ඕනෑ එපාකම් සඳහා පිහිට වීම මෙහිදී සිදුවේ.

මෙදින ඉරාන යාත්‍රාව ලොරෙන්සෝ පුතා 4 වෙත කිට්ටු කරද්දී එහි සිටි ධීවරයන් සිතා ඇත්තේ මොවුන් ඉරාන ධීවරයන් බවය.

එහෙත් නිමේෂයකින් ඇසුණු වෙඩි හඬත් සමග බෝට්ටුවේ සිටින්නේ සෝමාලියානු ජාතිකයන් තිදෙනෙකු බව ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාවේ ධීවරයන්ට අවබෝධ වන විට සියල්ල සිදුව ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන නියමුවා තම අනෙක් යාත්‍රාවට දැනුම් දී ඇත්තේ තමන් ඉරාන යාත්‍රාවකින් පැමිණි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුව ඇති බවය. මේ නිවේදනය දැනුම් දෙනවාත් සමග වහා ක්‍රියාත්මක වන මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සියලු පාලන කටයුතු සියතට ගෙන තිබේ.ඊට පෙර නියමුවාට බෝට්ටුවේ රතු බොත්තම දැල්වීමට හැකිව ඇති අතර ඒ අනුව ලොරෙන්සෝ 4 බහුදින යාත්‍රාවට අනතුරක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නැව් හා ශ්‍රී ලංකාවේ යාත්‍රා වලට හා ධීවර දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් පද්ධතියට දැනගන්නට ලැබිණි .මේ වන විට මේ යාත්‍රාවේ වී.එම්. එස් (වෙසල් මොනිටර් සිස්ටම්) පද්ධතිය අක්‍රීයව ඇති අතර ඒ හේතුවෙන් යාත්‍රාව ගමන් කරන දිශාව හඳුනාගැනීමට නොහැකිව ඇත.

යාත්‍රා අනාරක්ෂිත ද?

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා ගණන 5600 ක් බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි . එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත කියා සිටියේ මේ වන විට අරාබි ජාත්‍යන්තර මුහුදේ බහුදින ධීවර යාත්‍රා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රැකියාව කරන අතර ඔවුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් රජය හා ධීවර දෙපාර්තුමේන්තුව විශේෂ අවධානය යොමු කර ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා 1600 කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරන අතර ඔවුන්ගේ ප්‍රධාන පන්නය ටුනා මසුන් වන අතර ඉන් රටට විශාල විදේශ විනිමයක් ලැබේ.පසුගිය 27 වැනි දින සිදුවීමෙන් පසු තවත් සිදුවීම කීපයක් වාර්තා වූ බව ලොරෙන්සෝ පුතා 4 බහුදින යාත්‍රාවේ හිමිකරු පැවසීය.

“මගේ යාත්‍රාව මංකොල්ල කාපු කණ්ඩායම මගේ යාත්‍රාව අරගෙන ලංකාවේ තවත් යාත්‍රාවකට කිට්ටු කරලා තියනවා.කලින් දැනුම් දීම නිසා ඒ යාත්‍රාව දිසාව වෙනස් කරලා තියනවා. 28 වැනිදා රාත්‍රියේත් සොමාලියාවේ යාත්‍රාවක් අපේ යාත්‍රාවකට කිට්ටු කරලා.දැන් අපේ යාත්‍රා රැකියාව කරන්නේ බයෙන්.අපි ණය වෙලා තමයි මේ රැකියාව කරන්නේ.මම කොටි ගණනක් ණයයි.ලොරෙන්සෝ 1 මම විකුණුවා.ලොරෙන්සෝ 2,3 තිය‍ෙනවා.මේ තත්ත්වය තුළ අපි කොහොමද මේ රැකියාව කරන්නේ?” ඔහු විමසා සිටියේය.

‘අපි අසරණයි’

‘ලොරෙන්සෝ පුතා 4’ ධීවර යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටින අතර ඉන් තිදෙනෙකු එකම පවුලකට අයත් ඥාතීන් වෙයි. මේ ධීවරයෝ මාරවිල තොඩුවාව , කුඩාමඩුවැල්ල හා කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.” මේ බෝට්ටුවේ මගේ පුතා ඉන්නවා. බෑනා තමයි ස්කිපර් තව ඥාති පුතෙක් ඉන්නවා.එක්කෙනෙකුගේ නෝනට බබා ලැබිලා දවස් තුනයි.තව කෙනෙක්ගේ නෝනා ට බබෙක් ලැබෙන්න.අපේ පිරිස ජාත්‍යන්තර මුහුදේ නිත්‍යානුකුලව රැකියාව කරද්දී තමයි මේ දේ වුනේ.”

ජාතික ධීවර සහයෝගිතාවයේ පුත්තලම හිටපු සම්බන්ධිකාරක ලොයෙල් පිරිස් පැවසුවේ,”අපේ ජනාධිපතිවරයා මීට සතියකට පෙර ජාත්‍යන්තර නැව් ආරක්ෂා කරන්න නාවික හමුදාව යවන්න සුදානම් කළා. දැන් අපේ ධීවරයන් ඉන්නේ අනතුරේ රැකියාව කරන්න අමාරුයි.ඒ නිසා අපි ඉල්ලනවා ජනාධිපතිවරයාගෙන් අරාබි මුහුදට ශ්‍රී ලංකාවේ නාවික යාත්‍රා දෙකක් යවන්න කියලා .

ඉන්දීය නාවික හමුදා මෙහෙයුම

මේ අතර ඉන්දීය ආරක්ෂක බලධාරීන් (ජනවාරි 29වැනිදා) ප්‍රකාශ කළේ අරාබි මුහුදේ කොචි සිට නාවික සැතපුම් 700 ක් බටහිර දෙසින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් තවත් ධීවරයින් පිරිසක් ඉන්දීය නාවික හමුදාවේ INS සුමිත්‍රා නෞකාව විසින් බේරාගෙන ඇති බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකුගෙන් පමණ සමන්විත MV Iman නමැති ඉරාන ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන තිබුණි.

“INS සුමිත්‍රා, සෝමාලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සහ ඒඩන් බොක්ක ආශ්‍රිත මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම්වල යෙදී සිටියදී ඉරාන ධජය සහිත ධීවර යාත්‍රාවක් MV ඉමාන් පැහැර ගැනීම සම්බන්ධ ආපදා පණිවිඩයකට ප්‍රතිචාර දක්වා ඇත.යාත්‍රාවට ඇතුළුවූ මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සිටි පිරිස ප්‍රාණයට ගෙන ඇත,”ඉන්දීය නාවික හමුදා නිලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.

BBC News