දකුණේ පාතාල පොතේ රෝයල් බීච් සමන් පරිච්ඡේදය

0
රෝයල් බීච් සමන්

ලංකාවේ පාතාලයේ වැඩිම පිරිසක් ඝාතනය වූ යුගය කොළඹ පාතාලය රජ කළ 80 සහ 90 දශක ලෙස හැඳින්විය හැකිය. ඊට හේතු වූයේ පාතාලයත් දේශපාලනයත් එකට එක්වෙමින් නැගී සිටීමය. මේ නිසා තම බලය රඳවාගනිමින් පාතාලයෝ එකිනෙකා තුවක්කු අමෝරාගෙන සිටියහ. නොයෙල් අමරසිංහ, නිහාල් අමරසිංහ, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, සොත්ති උපාලි, නාවල නිහාල්, පාමංකඩ අශෝක, මොරටු සමන්, බැද්දාගානේ සංජීව, කලු අජිත් සහ මාළු නිහාල් වැන්නෝ ඒ කාලයේ පාතාලයේ රජ කළහ. එහෙත් ස්වභාවධර්මයේ න්‍යාය සැමට එක හා සමාන බව කිව යුතුය. ඒ අනුව මේ කී කිසිවකු අද නැත. එහෙත් උන් නිසා අමු අමුවේ ජීවිත පූජා කළ උන් හැටහුටාමාරකි.

මෙම යුගය පසු කරමින් පාතාලය ඉදිරියට ආ අතර එවැනි යුගයක් නැවත මතකයට නගමින් තවත් පාතාලයක් මේ වන විට ලංකාව තුළ මෝරා වැඩෙමින් සිටී. ඒ දකුණේ පාතාලයයි. එදා කොටන තුවක්කුවෙන්, ගල්කටස් එකෙන් ඇරඹි එකී පාතාලය අද වන විට ප්‍රබල ගිනිඅවි යොදාගනිමින් ඝාතන සිදුකිරීම ආරම්භ කර ඇත. මාකඳුරේ මදූෂ්, මනෝජ් මෙන්ඩිස්, එස්.ටී.එෆ් නඳුන්ලාගෙන් ඉහළටම ගිය පාතාලය අද මෙහෙයවන්නේ රත්ගම විදුර, කොස්ගොඩ සුජී සහ දෙවුන්දර තමිල් යන අය විසිනි. ඉන් රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී යනු දකුණේ පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාය. මේ දෙදෙනා නෑයන් වුවත් බලයට, ධනයට ඇති කෑදරකම වෙනුවෙන් දකුණේ යුද පිටියක් නිර්මාණය කර තිබේ. එකී යුද පිටිය තුළ දවසින් දවස උන් වෙනුවෙන් මැරුම් කන්නෝ සිය දහස් ගණනකි. මේ එකී ඝාතන රුල්ලේ මෑතක සිදුවූ තවත් ඝාතනයකි. ඒ ඝාතනය දකුණේ පාතාලයේ ලොකු ඉතිහාස කතාවකි.

වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් යනු 80 දශකය අගභාගයේ බීච් බෝයි කෙනකු ලෙස කටයුතු කළ කෙනෙකි. ඒ කොස්ගොඩ මුහුදු තීරයේය. එසේ රුකියාව කරමින් සිටි සමන් හට වාසනාව උදාවූයේ අරාබි ජාතිකයකු හරහාය. එම අරාබි ජාතිකයා සමන් සමඟ මිතුරු වූ අතර සමන්ට හෝටලයක් සාදා දුන්නේ ඉඳුරුව ප්‍රදේශයේ වෙරළ ආසන්නයේය. එම හෝටලයේනම රෝයිල් බීච් නම් විය. ඒ නිසාම සමන්, රෝයල් බීච් සමන් විය. සමන්ට සහෝදරයකු සිටි අතර ඔහු සුමිත් පෙරේරා නම් විය. සුමිත් සමන්ගේ හෝටලය බලා කියාගත්තේය.

මේ අතර සුමිත් සහ සමන් තවත් බීච් බෝයිලා දෙදෙනකු සමඟ පැටළුණහ. ඒ කෝලිත හා රෝහණ සමඟය. මේ නිසාම දිනක් ඉඳුරුව වෙරළ තීරයේදී කෝලිත සහ රෝහණ වෙඩි ප්‍රහාරයට ලක්වූහ. ඔවුන් එදින ඝාතනය නොවුණද මෙය සිදුකළේ සමන් සහ සුමිත් බව හඳුනාගනු ලැබිණි. මේ නිසාම දෙදෙනා අත්අඩංගුවට පත්වූ අතර අනතුරුව බන්ධනාගාර ගත කරනු ලැබූහ.

එසේ බන්ධනාගාර ගතවූ මොහොතේ දෙදෙනාට දකුණේ පාතාලයේ එවකට ඔලුව ඔසවමින් සිටි අයෙකු හමුවිය. ඒ රත්ගම විදුරය. රත්ගම විදුර සහ සමන් මිතුරු වූයේ ඒ අයුරිනි. එම මිතුදම සමඟින් සමන් තරමක් පොරක් වන්න පටන් ගත්තේය. ඒ මොහොතේ දකුණේ පාතාලයේ කිරුළ දරා සිටියේ නඳුන් ධර්මවික්‍රම නොහොත් එස්.ටී.එෆ් නඳුන් නැමැති අයයි. මෙලෙස තමාව අභිබවා යාමට සමන් උත්සාහ කළ බැවින් නඳුන් සමන් බය කිරීම සඳහා විශාල කප්පමක් ඉල්ලා සිටියේය. නඳුන් වැනි කිසිවක් නාහන අයකුට මුළු ගාල්ලම බය බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පුදුමය නම් නඳුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සමන් බැණ වැදීමය.

නඳුන්ට එය හිතා ගැනීමට නොහැකි විය. වහාම ක්‍රියාත්මක වුණු නඳුන් තම ගෝලයන් දෙදෙනකු යොදා රෝයල් බීච් හෝටලය හිල් වෙන්නට වෙඩි තබා තිබිණි. ඒ සමන්ව බිය වැද්දීමටය. එහෙත් සමන් එය තඹයකට මායිම් කළේ නැත. ඒ වෙනුවට සමන් කණ්ඩායමක් හදාගත්තේය.

එම කණ්ඩායමට නඳුන්ගේ හොඳම ගෝලයන් දෙදෙනෙක් එක්ව සිටියහ. එක් අයකු ආමි මල්ලිය. අනෙක් අය නම් හික්කඩුවේ මනෝජ් මෙන්ඩිස් නැමැත්තාය. (රජ්ගම හිටපු සභාපති, පසුව ඝාතනය විය). ඔවුන් දෙදෙනා නඳුන්ගෙන් වෙන්වූයේ අහුන්ගල්ල රන්මැණිකා හෝටලයේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙනි. නඳුන්ගේ හොඳම වෙඩික්කරු වූයේ ආමි මල්ලිය. එහෙත් ඔහු සමන්ට එක්වීමත් සමඟ සමන් සංවිධානාත්මක පාතාල කණ්ඩායමක් නිර්මාණය කළේය. ඒ විස්සකට අධික පිරිසක් සමඟය. ඒ කණ්ඩායම මෙහෙයවීම, සමන් තම සොහොයුරා වූ සුමිත්‍ට බාර දුන්නේය.

දකුණේ පාතාල

ඒ අනුව සමන් කණ්ඩායම 2004 වසරේ දෙසැම්බර් 22 නඳුන්ගේ මස්සිනා වූ ටොරී ධනුෂ්ක තාබෲ ඝාතනය කළේය. එයින් නඳුන්ගේ ඉහ මොළ රත්විය. දක්ෂ ජාත්‍යන්තර  ක්‍රීඩකයකු වූ ටොරී නිකරුණේ ඝාතනය විය. මෙහි වාඩුව ගැනීම සඳහා ඒ මොහොතේ කරළියට පැමිණියේ අප මේ කතාව ආරම්භයේ පැවසූ අයයි. ඒ අන් කිසිවකු නොව කොස්ගොඩ සුජීය. තම මස්සිනාට සිදු කළ ප්‍රහාරයට නඳුන් ලෙයට ලෙයක් ගනිමින් සමන්ගේ මස්සිනා වූ සුමිත් ද සිල්වා 2005 වසරේදී ඝාතනය කළේය. එම යුගයේදී කොස්ගොඩ, ඉඳුරුව, අහුංගල්ල, බලපිටිය එකම යුද පිටියක් විය.

සමන් සටන අත්ඇරියේ නැත. ලෙයට ලෙයක් ගනිමින් සමන් කණ්ඩායම 2006 පෙබරවාරි 17 වැනිදා කොස්ගොඩ හිටපු සභාපති කෙනකු වන නඳුන්ගේ මාමණ්ඩිය වූ ස්ට්‍රුන්ලි තාබෲ ඝාතනය කළේය. ස්ටැන්ලි යනු නඳුන්ගේ එකම සවිය විය. එම ප්‍රහාරය නඳුන්ව අනාථ කර දැමීමක් විය.

නඳුන් සටන අත්හැරියේ නැත. ඔහු තම බලය යොදා ආරක්ෂක අංශ මෙහෙයුමකින් ආමි මල්ලිත්, සමන්ගේ සහෝදරයා වූ සුමිත්වත් ඝාතනය කළේය. මෙය සමන්ගේ කඩා වැටීමට ප්‍රධාන හේතුව විය. සමන් වහාම සියල්ලෙන් ඈත්වුණේ තමාගේ සියලු ගෝලයන් විදුරට බාර දෙමිනි. මේ අතරතුර කාලයේ රත්රන් වෙළෙඳසලක් කොල්ල කන්නට ගොස් පොලිස් නිලධාරින් දෙදෙනකුට වෙඩි වැදීම නිසා නඳුන් ඉතාලියට පැන ගියේය. එසේ පැනගිය නඳුන් පාතාලය අත්හැර දැමීය. නඳුන් සහ සමන් තම අතීතය අත්හැර දැමුවද නඳුන්ගේ කණ්ඩායම බාරගත් ඊළඟ ගෝලයා වූ කොස්ගොඩ සුජී සමන්ව අත්ඇරියේ නැත. ඒ ටොරී ඝාතනය හේතුවෙනි. සුජී සහ විදුරගේ ගැටුමේදී සුජීගේ ප්‍රධාන ඉලක්කය වූයේ සමන්ට ප්‍රහාරය එල්ල කිරීමය.

තමා ළඟ සිටි මනෝජ් මෙන්ඩිස්ලා මෙන්ම තවත් ගෝලයන් එකා දෙන්නා මිය යන විට සමන් සියල්ල අත්හැර දේශපාලනයට අත්පොත් තැබීය. ඒ තමන්ටම කියා පක්ෂයක් සමඟිනි. සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් අපේ ජනබල පක්ෂය ලෙස කරළියට පැමිණි අතුරලියේ රතන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් රුසක් ඡන්ද සටනට පැමිණියේ ද මෙකී සමන්ගේ පක්ෂයෙනි.

සමන් කෙතරම් පාතාලයෙන් ඈත් වුවද තමාට විදුර දුන් සහාය හේතුවෙන් විදුර අත්හැරීමට සමන්ට හැකිවුණේ නැත. මේ නිසාම විදුර කියන කියන වැඩ සමන් කළේය. මේ අතර 2018 වසරේ දෙසැම්බර් මාසයේ කුඩාවැල්ල ධීවර වරාය තුළ සමූල ඝාතනයක් සිදුවිය. ඒ එකවර පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමය. මෙම ඝාතනය විදුරගේ වැඩක් ලෙසත් ඊට සහාය දුන්නේ සමන් බවත් කොස්ගොඩ සුජීට කන වැකුණේ මේ අතරය. සුජී මේ සම්බන්ධයෙන් සමන්ට චෝදනා එල්ල කළේය. එසේම සුජීගේ පාර්ශ්වය ඇතැම් ඝාතනවලට සමන්ව සැක කළේය. අප ඇත්ත නැත්ත දන්නේ නැත. එහෙත් සමන් විදුරගේ මිත්‍රයා බැවින් මේ කතා නිකමට කරළියට පැමිණෙන්නේ නැත.

මේ අතර පසුගියදා සමන් ඇතුළු පිරිස තංගල්ලට නඩු විභාගයක් සඳහා යමින් සිටියදී මෝල් අසංකගේ ඉලක්කයට හසුවිය. මෝල් අසංක යනු පාතාලයේ ප්‍රබලයකු වූ කරාටේ ධම්මිකගේ ගෝලයෙකි. එසේම ඉලක්ක ගත වෙඩික්කරුවෙකි. කාලයක් යුද හමුදා විශේෂ බලකා දක්ෂ සෙබලෙකි. ඒ නිසා අංසකට යකඩ කෑලි හාල් කෑලි මෙනි. මේ අනුව කොස්ගොඩ සුජී සිය කොන්ත්‍රාත්තුවට යොදාගැනුණේ අසංකය. කෙසේ වෙතත් මේ වන විට ප්‍රහාරයට ආ ජිප් රථය සොයාගෙන ඇත. එසේම තවත් පිරිසක් අත්අඩංගුවටද පත්ව සිටිති. කතාව හෙළිවී හමාරය. ප්‍රහාරයේ මෙහෙයුම අනාවරණය වී ඇත. එහෙත් මෙහි ලොකුම ප්‍රශ්නය නම් රටම කළඹන යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන මොහොතක මෙවැනි දෙයක් සිදුවූයේ නම් අනෙක් අවස්ථාවන්හිදී කවර කතා ද යන්නය. කෙසේ වෙතත් අවි ගත්තෝ අවියෙන් නැසෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

I ගයාන් ගාල්ලගේ