බාදක රැසක් මැද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වන දිනය අද

0
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය

සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (ජනවාරි 23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

ජනවාරි 23 වැනිදා පෙරුවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර පනත් කෙටුම්පත විවාදයට පෙර කතානායකවරයා විසින් සභාව තාවකාලිකව අත්හිටුවා පක්ෂනායක රැස්වීමක් කැඳවනු ලැබීය.

කෙටුම්පත ඊයේ දින විවාදයට ගැනීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග එය ඊයේ දිනයේ විවාදයට ගන්නේ ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ඡන්ද විමසීමක් පැවැත්විණි.

එහිදී ඊයේ දින විවාදයට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 50ක් පමණි.

ඒ අනුව පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පාර්ශව රැසක් මේ පනත් කෙටුම්පත පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කර ඇති පසුබිමක් තුළයි.

‘කාබනික පොහොර මගඩිය වගේ ජනතාවගේ නිදහස එක්ක සෙල්ලං කරන්න එපා.’

මෙම පනත් කෙටුම්පත යටතේ මූලිකවම

  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම
  • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට විධිවිධාන සැලසීම
  • තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතය වැළැක්වීම
  • ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම
  • සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම යනු කරුණු අරමුණු කරයි.

පනත් කෙටුම්පත අද සහ හෙට විවාදයට ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට පෙර නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අද ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

”2023 පැමිණිලි 8000කට වඩා තියෙනවා. මේ සියලු දේ කරන්නේ රටේ ළමයි, කාන්තාවන් බේර ගන්න.”

පනත් කෙටුම්පත මඟින් ‘ වැරදි ලෙස අර්ථ’ ගන්වා ඇත්තේ මොනවාද?

රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත.

ඒ අනුව,

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
  • අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
  • අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
  • ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම
  • අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
  • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
  • හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • ළමා අපයෝජන
  • වරදක් සිදු කිරීම සඳහා ‘බොට්’ සෑදීම හෝ අවභාවිතා කිරීම
  • කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම
  • මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබේ.
‘වෙනදා උසාවියෙන් ඉල්ලපු තොරතුරු පොලීසියට ඉල්ලන්න බලය දීලා.’

දඬුවම් මොනවා ද?

මෙම පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරිමේ හැකියාව පවතියි.

මෙම පනතට විරෝධය දක්වන පාර්ශව මතුකරන කාරණයක් වන්නේ මෙම පනත් කෙටුම්පත හරහා ඔන්ලයින් මගින් සේවා සපයන්නන්හට දඬුවම් කිරිමේ හැකියාවක් පවතින අතර, එමඟින් සේවා සැපයිම අඩාලවීමේ අවදානමක් පවතිය.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ව්‍යපාරවල නිරත පුදගලයන් හට ද මෙම පනත හරහා ගැටලු ඇතිවීමේ ඉඩ පවතින බව විචාරකයින් මතුකරන තවත් කාරණයකි.

අදාළ කොමිසමේ සියලු සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන තවත් කරුණක් බවද මෙම කෙටුම්පතට විරෝධය දක්වන පාර්ශව පෙන්වා දෙන තවත් කරුණකි.

මෙම කොමිසමට ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව තීරණය කිරීමට ඉඩ ලබාදීම හරහා භාෂණයේ හා ප්‍රකාශයේ නිදහසට බලපෑම් සිදුවීමේ ඉඩක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔවුහූ පෙන්වා දෙති.

‘මේ පනතේ පරමාර්ථය සමාජ මාධ්‍ය හරහා යන තොරතුරු අඩපණ කිරීම.’
සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද (ජනවාරි 23 වැනිදා) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී තිබේ.

මේ සඳහා අනුමැතිය හිමි වූයේ මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ලලිත් වර්ණකුමාරගේ සභාපතිත්වයෙන් (ජනවාරි 22වැනිදා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.

මෙහිදී ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධන විය යුතු බවත් කමිටුවට පෙන්වා දුන්නේය. මේ නිසා මෙම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත නොකොට තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ.

BBC News