තායිවානයට නව ජනපතිවරයෙක් සමගින් අනාගතය කොයිබටද ?

0
තායිවානයට නව ජනපතිවරයෙක්

තායිවානයේ ඡන්ද දායකයින් නව ජනාධිපතිවරයෙකු සහ නව පාර්ලිමේන්තුවක්, එනම්, එරට ව්‍යවස්ථාදායක මණ්ඩලය වන යුවාන් ආයතනයට සාමාජිකයින් තෝරා ගැනීම සඳහා 2024 ජනවාරි 13 වන දින ඡන්ද පොළට යනු ඇත.

ස්වයං පාලනයක් යටතේ ඇති මෙම දිවයින වොෂින්ටනය සහ බීජිං යන දෙපාර්ශවයට ම වැදගත් මූලෝපායික අවශ්‍යතා දරන බැවින් චීනය සහ එක්සත් ජනපදය යන රටවල් දෙක ම එය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.

අවසාන ප්‍රතිඵලය චීනය සමග තායිවානය පවත්වන සබඳතාවේ ස්වභාවය කෙරෙහි ප්‍රබල ලෙස බලපානු ඇති අතර, එමඟින් කලාපයේ ආතතීන් ඉහළ නංවා, සමස්ත ගෝලීය ආර්ථිකයට ද බලපෑමක් එල්ල විය හැකි ය.

චීනය විසින් බෙදුම්වාදී ලෙස සලකනු ලබන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් වාර දෙකක් ජනාධිපති ධූරය හෙබවීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සීමා කිරීම් අනුව ධූරයෙන් ඉවත් වනු ඇත.

ඇගෙන් පසු ජනාධිපති ධූරය සඳහා තේරී පත් වීමට අපේක්ෂකයෝ තිදෙනෙක් තරග කරති.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ප්‍රමුඛ සන්ධානයක්, නීති සම්පාදනය කිරීමට, අයවැය අනුමත කිරීමට, යුද්ධ ප්‍රකාශ කිරීමට සහ අනෙකුත් රාජ්‍ය ප්‍රශ්න විසඳීමට බලය ඇති මන්ත්‍රීවරුන් 113කින් යුත් එරට ව්‍යවස්ථාදායක යුවාන් ආයතනය තුළ බහුතරයක් පවත්වා ගැනීමට බලාපොරොත්තු වේ.

අපේක්ෂකයින් කවුරුන් ද?

Three Taiwan presidential candidates pose for a photograph on stage
 

ලයි චින්ග්-ටේ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP):

ලයි යනු, තායිවානයේ සෑම ප්‍රධාන දේශපාලන තනතුරක් ම පාහේ දරා ඇති හිටපු වෛද්‍යවරයෙකි. ඔහු 2020 සිට එරට උප-ජනාධිපතිවරයා ලෙස ලෙස කටයුතු කරයි.

ඔහු පෑන්-ග්‍රීන් සභාගයේ නායකයා වන අතර, චීනය සමග යළි එක්වීමට විරෝධය පළ කරමින් ශක්තිමත් තායිවාන අනන්‍යතාවක් ගොඩනැගීම සඳහා පුළුල් ලෙස සහය දක්වයි.

ඔහු චීනයට වඩා එක්සත් ජනපදය සමග සමීප සබඳතා පැවැත්වීමට ඇලුම් කරයි.

චීනය ඔහු දකින්නේ දැඩි මතධාරී “බෙදීම්වාදියෙකු”, මෙන් ම “ට්සායි වඩා බෙහෙවින් නරක” පුද්ගලයෙකු ලෙස ය.

නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය ළං වන විට, ඔහු ට්සායි අවස්ථානෝචිතව භාවිත කරන ප්‍රකාශයක් නැවත නැවතත් සඳහන් කරයි: “තායිවානය දැනටමත් නිදහස් රටක්, එහි ස්වාධීනත්වය ගැන තවදුරටත් ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නැහැ.”

හූ යූ-යී, කුඔමින්ටාං (KMT):

හූ හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහු 2022 නව තායිපේ නගරයේ (අගනුවරට තදාසන්න නගරයක්) නගරාධිපති ලෙස නැවත තේරී පත් වූයේ කාර්යක්ෂමතාව සඳහා කීර්තියක් ඇති මධ්‍යස්ථ මතධාරී පුද්ගලයකු ලෙස ය.

ඔහු පෑන්-බ්ලූ සභාගයට නායකත්වය ලබා දෙන්නේ චීනය සමග ශක්තිමත් සබඳතා හෝ ඔවුන් නැවත එකතු වීමට ඇති විභවය වෙනුවෙන් හඬ නගමිනි.

නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෝ චීනය සමග යළි එක් වීමට උත්සහ නොකිරීම යන, පවතින තත්ත්වය ම පවත්වා ගැනීමට ඔහු දැන් ප්‍රමුඛත්වය දෙන බව ඔහු පසුගිය දා ප්‍රකාශ කළේ ය.

කෝ වෙන්-ජේ, තායිවාන මහජන පක්ෂය (TPP):

කෝ 2014 වසරේ දී ස්වාධීනව තායිවානයේ අගනුවර වන තායිපේ නගරාධිපති ධූරයට තරග කරන අවස්ථාව දක්වා ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේ ය.

ඔහු 2019 වසරේ දී තායිවාන් මහජන පක්ෂය පිහිටුවා, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය සහ කුඔමින්ටාං යන පක්ෂ දෙක පිළිබඳ නොසතුටින් සිටි ඡන්ද දායකයින් සඳහා තුන්වන තේරීමක් ලෙස එය ස්ථානගත කළේ ය.

තායිවානය හා චීන සබඳතා පිළිබඳ තායිවාන් මහජන පක්ෂයේ ස්ථාවරය අපැහැදිලි ය.

ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට පක්ෂ දෙක ම වෙනුවෙන් එක්ව අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සිදුකළ සාකච්ඡා නොවැම්බර් මාසයේ දී අසාර්ථක විය.

A Taiwanese woman with a mask on among a crowd during a protest

තායිවාන වැසියන්ට අවශ්‍ය කුමක් ද?

චීනය සහ තායිවානය අතර ආතතීන් තිබුණ ද, පර්යේෂණවලින් පෙනී යන්නේ, බොහෝ තායිවාන ජනයා ආර්ථික සංවර්ධනය වඩා ත් වැදගත් ප්‍රශ්නයක් ලෙස සලකන බව ය.

එරට ජාතික විද්‍යා හා තාක්ෂණ කවුන්සිලය විසින් අරමුදල් සම්පාදනය කරන ලද 2023 සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගියේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 34.2%ක් තම මීළඟ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු වඩා ත් ම හදිසි අවශ්‍යතාව ලෙස ආර්ථිකය සලකන බව ය.

චීන-තායිවාන සබඳතා ගැටලුව දෙවනට තැනට පත්වූයේ 18.1%ක ප්‍රතිචාරයක් ලබා ගනිමිනි.

විශේෂයෙන් ම තරුණයින්ට සහ කම්කරුවන්ට අඩු වැටුප් හිමිවීම, ඉහළ ජීවන වියදම සහ නිවාස මිල ඉහළ යාම වැනි ගැටලුවලින් ජනතාව කලකිරී සිටිති.

ට්සායි ඉන්ග්-වෙන් ඇගේ 2015 මැතිවරණ ව්‍යාපාරයේ දී “තරුණ පරම්පරාවට වඩා හොඳ රටක්” ඇති කරන බවට ප්‍රතිඥා දුන් නමුත් බොහෝ ඡන්ද දායකයින් සිතන්නේ ඇය එය ළඟා කර දී නොමැති බව ය.

2022 පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය දුර්වල ප්‍රතිඵල ලැබුවේ, ට්සායිට පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු ද නිර්මාණය කරමිනි.

මිනිසුන්ගේ දෛනික ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය දුර්වලව කටයුතු කළ ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් දොස් පැවරූහ.

මාස හයක් තිස්සේ දිවයින තුළ අඛණ්ඩව පදිංචිව සිටින වයස අවුරුදු 20 හෝ ඊට වැඩි තායිවාන ජාතිකයෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නිරායාසයෙන් ම සුදුසුකම් ලබති.

එනම්, සුදුසුකම් ඇති ඡන්දදායකයින් ගණන මිලියන 19ක් පමණ වෙති. පසුගිය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පැවතියේ 75%ක ය.

Joe Biden shakes hand with Xi Jinping at Filoli estate on the sidelines of the APEC summit

චීනය සහ එක්සත් ජනපදය තායිවානයේ නව ජනාධිපතිවරයා ලෙස දැකීමට කැමති කවු ද?

තායිවාන දූපත ගිනිකොණදිග චීන වෙරළේ සිට කිලෝමීටර් 161ක් පමණ දුරින් පිහිටා ඇත.

කොමියුනිස්ට් පක්ෂය සමග පැවති සිවිල් යුද්ධයෙන් පරාජය වීමෙන් පසු, 1949 වසරේ දී චීන භූමියෙන් පසුබැස්ස දා සිට කුඔමින්ටාං (KMT, ජාතිකවාදී පක්ෂය) ආණ්ඩුව තායිවානයේ ස්වයං පාලනයක් ගෙන යමින් සිටියේ ය.

දශක ගණනාවකට පසු, තායිවානය ඒකාධිපතිවාදයෙන් ඉවත් වී තමන්ගේ ම ව්‍යවස්ථාවක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දක්වා ගමන් කර ඇත. ජනගහනයෙන් බහුතරයක් තායිවානය දකින්නේ, චීනයට වඩා වෙනස් ලෙස ය.

එහෙත් තායිවානයේ පාලනය අත්පත් කර ගැනීම, ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක කාරණයක් ලෙස චීනයේ කොමියුනිස්ට් පක්ෂය සලකයි.

ජනාධිපති ෂී ජින්පින් “යළි එක්වීම” සාක්ෂාත් කර ගත යුතු බව එක් වරකට වඩා ප්‍රකාශ කර ඇති අතර, මෙය ළඟා කර ගැනීමට බලය යෙදවිය හැකි බව බැහැර කර නැත.

එවැනි ඕනෑ ම ආකාරයක හමුදා පියවරක් නැවැත්වීමට ක්‍රියා කිරීමට සූදානමින් සිටින බවට එක්සත් ජනපදය පැහැදිලිව පෙන්වා දී තිබේ.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට තීරණාත්මක ලෙස වැදගත් වන ජපානය, දකුණු කොරියාව, පිලිපීනය වැනි එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍ය බව කියන “පළමු දූපත් දාමයේ” (first island chain) තායිවානය පිහිටා තිබේ.

චීනය තායිවානය අත්පත් කර ගන්නේ නම් බටහිර පැසිෆික් කලාපය තුළ බලය පතුරුවාලීමට වඩා ත් පහසු විය හැකි අතර, ඇතැම් විට ගුවාම් සහ හවායි වැනි දුරින් පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරුවලට පවා තර්ජනයක් විය හැකි බවට ඇතැම් බටහිර විශේෂඥයෝ පවසති.

එහෙත් චීනය අවධාරණය කරන්නේ, තම අභිප්‍රාය හුදෙක් සාමකාමී බව ය.

මේ මොහොතේ, මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ අපේක්ෂක ලයි චින්ග්-ටේ කුඔමින්ටාං පක්ෂයේ හූ යූ-යීට වඩා මඳක් ඉදිරියෙන් සිටින අතර, තුන්වන අපේක්ෂකයා වන තායිවාන් මහජන පක්ෂයේ කෝ වෙන්-ජේ පසුපසින් සිටින බව ය.

චීනය පසුගිය වසරේ තායිවානය දෙසට යුද නැව් සහ ගුවන් යානා නිතර යවමින්, සෑම දිනක ම පාහේ දෙරට අතර සමුද්‍ර සන්ධිය බෙදෙන මුහුදු සීමාව හරහා යමින් පීඩනය ඉහළ නංවමින් සිටියේ ය.

Taiwan president Tsai Ing-wen wearing a military vest standing among military officials at a reservist base in Taoyuan

තායිවානයට තමන් ආරක්ෂා කර ගත හැකි ද?

චීනය සතු යුද්ධ බලයෙන් වැඩි ප්‍රමාණයක් වෙනත් තැනකට යොමු කර ඇති නමුත්, සමස්තයක් ලෙස ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් ගත්කල දෙපාර්ශවය අතර විශාල අසමතුලිතතාවක් පවතියි: ඕනෑ ම ආකාරයක හමුදා ගැටුමක දී, චීනයේ සන්නද්ධ හමුදා තායිවානයේ හමුදා අභිබවා යනු ඇත.

නමුත් තායිවානය මනා සේ සන්නද්ධව නොසිටින බවට හෝ ඔවුන්ට තනිව නැගී නොසිටිය හැකි බව මින් අදහස් නොවේ.

එක්සත් ජනපදය 1979 වසරේ දී සිය නිල ස්ථාවරය වෙනස් කර තායිවානය ඇතුළු සමස්ත චීනය සඳහා ම එක ම නීත්‍යනුකූල රජය චීනය ලෙස පිළිගත්ත ද, තායිවාන සබඳතා පනතේ නියමයන් යටතේ එරටට ආයුධ අලෙවි කිරීම අඛණ්ඩව කරගෙන ගියේ ය.

2023 ජූලි මාසයේ දී එක්සත් ජනපදය ඩොලර් මිලියන 345ක් දක්වා වටිනා ආයුධ ආධාරයක් තායිවානය වෙත ලබා දෙන බව ප්‍රසිද්ධියට පත් කළේ ය.

වසර අවසානයට පෙර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තායිවානයේ උපායශීලී තොරතුරු පද්ධති නඩත්තු කිරීමට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 300ක් වටිනා උපකරණ අලෙවිය සඳහා අනුමැතිය ලබා දුන්නේ ය.

2022 මැයි මාසයේ දී, එක්සත් ජනපදය තායිවානය හමුදාමය වශයෙන් ආරක්ෂා කරන්නේදැ යි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ, “ඔව්”, යනුවෙනි.

ධවල මන්දිරය පසුව අවධාරණය කළේ, වොෂින්ටනය තමන් ප්‍රකාශ කළ පරිදි ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ වෙනස් කර නොමැති බව ය.

කෙසේ වෙතත්, චීනය එක්සත් ජනපදය හැර, අනෙක් කිසිදු රටකට වඩා ආරක්ෂාව සඳහා වියදම් කරන අතර ඔවුන්ට නාවික බලයේ සිට මිසයිල තාක්ෂණය, ගුවන් යානා සහ සයිබර් ප්‍රහාර දක්වා විහිදුණු විශාල පරාසයක හැකියාවන් තිබේ.

තායිවානය ලොව සෙසු රටවල්වලට වැදගත් වන්නේ ඇයි?

එක්සත් ජාතීන්ගේ සංවිධානය තායිවානය වෙන ම රටක් ලෙස පිළිනොගන්නා අතර, ලොව පුරා රටවල් 12ක් පමණක් ඔවුන් වෙන ම රටක් ලෙස පිළිගනියි (ප්‍රධාන වශයෙන් දකුණු ඇමෙරිකාව, කැරිබියන් සහ ඕෂනියාව තුළ).

ලෝකයේ බොහෝ එදිනෙදා භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපකරණ – දුරකතනවල සිට ලැප්ටොප්, ඔරලෝසු සහ ක්‍රීඩා කොන්සෝල දක්වා – බලගන්වන්නේ තායිවානයේ නිෂ්පාදිත පරිගණක චිප් මඟිනි.

එක් නිර්ණායකයක් අනුව, තනි තායිවාන සමාගමක්, එනම් තායිවාන් අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම හෝ TSMC ගෝලීය වෙළෙඳපොළෙන් අඩකටත් වඩා අධිපත්‍යය දරයි.

TSMC යනු, ඊනියා “වාත්තු වැඩපොළකි”. එනම්, පාරිභෝගිකයින් සහ හමුදා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව චිප් නිෂ්පාදනය කරන සමාගමකි. එය 2021 වසරේදී ඩොලර් බිලියන 100කට ආසන්න වටිනාකමක් තිබුණු මහා පරිමාණ කර්මාන්තයක් විය.

එක්සත් ජනපදය සහ තායිවානය ඇතුළු එහි මිත්‍ර රාජ්‍යයන්ගේ මයික්‍රොචිප් තාක්ෂණයේ දියුණුව සමග ගැලපීමට ඉඩ සලසන තාක්‍ෂණයට චීනය ප්‍රවේශ වීම මැඩපැවැත්වීම සඳහා වොෂින්ටනය මෑත වසරවලදී, අපනයන පාලන සහ අනෙකුත් සීමා කිරීම් හරහා උත්සහයන් වැඩි කරමින් සිටියි.

චීනය තායිවානය අත්පත් කර ගැනීමක් සිදුවුවහොත් බීජිං වෙත ලොව වැදගත් ම කර්මාන්තයක් සැලකිය යුතු මට්ටමකින් පාලනයට නතු කර ගත හැකිවනු ඇත.

BBC News