යුක්තිය මෙහෙයුම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඒජන්සියේ කණගාටුව

0
යුක්තිය මෙහෙයුම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඒජන්සිය විසින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙහෙයුම සමාලෝචනය කර නීති විරෝධී මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීම සඳහා අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයක් ක්‍රියාත්මක කරන ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් කරන්නේ, හමුදා විසින් සෝදිසි වරෙන්තු නොමැතිව වැටලීම් සිදු කර ඇති අතර, සැක සහිත මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සහ භාවිතා කරන්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ව හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බවයි.

අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, අයහපත් ලෙස සැලකීම, ප්‍රසිද්ධියේ සිදුකරන හිරිහැර සහ වධහිංසා පැමිණවීම් ඇතුළු අයිතීන් උල්ලංඝන රැසකට පුද්ගලයන් ගොදුරු වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට බරපතල අභියෝගයක් වන නමුත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශය විසඳුම නොවන බවද එහි දැක්වෙනවා.

එසේම වැලිගමදී සිදු වූ පොලිස් නිලධාරියා මියයාමේ සිද්ධියද අදාළ මාධ්‍ය වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන අම්බිකා සත්කුනනාදන් සමාජ මාධ්‍යවල පළ කර ඇත්තේ සෝදිසි කිරීම් සාක්ෂි මත පදනම් නොවන නමුත් දුෂ්කර ප්‍රදේශ පමණක් කරගෙන ඇති බවයි.

එම විදෙස් වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ, පොලිසිය විසින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ කුඩා කාලීන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මහා පරිමාණ ජාවාරම්කරුවන් කෙරෙහි අවධානය යොමු කර නොමැති බවද ඇය ප්‍රකාශ කළ බවයි.