කහතුඩුව ඝාතන සැකකරු ගැන අලුත් කතාවක් එළියට

0
කහතුඩුව ඝාතන සැකකරු

සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කහතුඩුව පොලීසිය, සැකකරුගේ ඡායාරූපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පිහිටුවා ඇති මුහුණු හරහා පුද්ගලයන් හඳුනාගැනීමේ ඒකකයට ලබාදීමට පියවර ගෙන ඇත.

එවන් පසුබිමක සැකකරු 09 රාත්‍රියේ 10යි 35ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ, මැලේසියා ගුවන් සමාගමට අයත් MH – 178 ගුවන් යානයෙන් මැලේසියාව බලා යෑම සඳහායි.

ඒ අතරතුර දී මුහුණු මගින් පුද්ගලයන් හඳුනාගැනීමේ කැමරා පද්ධතිය මගින් සැකකරු හඳුනාගෙන තිබේ.

එහි දී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් සැකකරුගෙන් ගුවන් ගමන් බලපත්‍රය ඉල්ලා ඇති අතර සැකකරු පවසා ඇත්තේ, තමන් සිය බිරිය සමඟ විදෙස්ගත වීමට පැමිණි බවත් ගුවන් ගමන් බලපත්‍රය ඇය සතු ව ඇති බවත්ය.

කෙසේ වෙතත් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රය විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇත.

එහි දී සැකකරු පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු ව ඔහු ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 47 හැවිරිදි ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැති සිව් දරු පියෙකු වන අතර, ඔහු විදේශගත ව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි පෙරේරා නොහොත් කුඩු ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා ද වේ.

ඔහු වීසා උපදේශන ආයතනයක් සහ ඉදිරිකිරීම් සමාගමක් පවත්වාගෙනයන අයෙකු බව සඳහන්ය.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ, සිය බිරිය මීට වසර දෙකකට පමණ ඉහත දී දරුවන් සිව් දෙනා සහ තමන් අත්හැර වෙනත් පුද්ගලයෙකු සමඟ ගොස් ඇති බවයි.

ඉන් පසු ව ඝාතනයට ලක් වූ කාන්තාව සමඟ වසර දෙකකට පමණ ඉහත දී සමීප සබඳතාවක් ඇරඹූ බවත් බොහෝ දිනවල දී තමන් කහතුඩුව අධිවේගී පිවිසුම අසලට මෝටර් රථයෙන් පැමිණ සේවය නිමවා පැමිණෙන ඇය ව ඇයගේ නිවස අසලට ඇරලවන බවත් ඔහු පවසා තිබේ.

ඊයේ පෙරවරුවේ සිටම දුරකථනයෙන් ඇය සමඟ බහින්බස් වීම් ඇති වූ බව ද සැකකරු පවසා ඇත.

ඒ අනුව සුපුරුදු පරිදි ඊයේ පස්වරුවේ ද ඇයව රැගෙන ඒම සඳහා ගිය ද ඇය ත්‍රිරෝද රථයකින් යෑමට උත්සහා කිරිමේ දී ඇති වූ කෝපය හේතුවෙන් තම මෝටර් රථයේ වූ තියුණු ආයුධයක් ගෙන ඇගේ ගෙලට පහරවල් දෙකක් එල්ල කළ බව ද සැකකරු පාපොච්චාරණය කර තිබේ.

ඝාතනය කිරීමේ අරමුණින් ඇයට පහර නොදුන් නමුත් පසු ව ඇය මිය ගොස් ඇතැයි දැනගැනීමට ලැබුණු බව ද ඒ අනුව  විදෙස්ගත වීම සඳහා ගුවන්තොටුපළට පැමිණි බව ද සැකකරු පවසා ඇති බව පොලීසිය සඳහන් කරයි.

වැඩිදුරටත් සිදු කෙරුණු විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, සැකකරු ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා ඝාතනය කරන බවට ඇයට අවස්ථා ගණනාවක දී තර්ජනය කර ඇති බවයි.

ඒ හේතුවෙන් සැකකරු හා අදාළ කාන්තාව සමඟ ආරවුල් ඇති වී තිබෙන බවත් සැකකරුගේ තර්ජන හමුවේ කාන්තාව සිය සැමියා සමඟ විදෙස්ගත වීමට ද සූදානමින් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ අතර, ඝාතනය සඳහා සැකකරු පැමිණි මෝටර් රථය කහතුඩුව පොලීසිය අද දහවල් සැකකරුගේ බෙක්කාගම නිවස ඉදිරිපිට තිබිය දී සොයාගෙන ඇත.

මේ අතර, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.