ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පාස්කු චෝදනාවලින් නිදොස් කොට නිදහස්

0
ලලිත් පතිනායක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ලවූ  චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබේ.

නව ජාතික පොලිස් කොමිසම විසින් පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විමර්ශනයකින් පසුව ඔහු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දින පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද සඳහන්ය.

ඊට අදාළ වාර්තාවේ පිටපත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමුකර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක සහ එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් රැසකට චෝදනා එල්ල වුණි.

ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදී මූලික විමර්ශන ආරම්භ කළ ද එම විමර්ශන අතරමග නතර කෙරුණි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම දිගටම ක්‍රියාත්මක වූ අතර ඊට මෙම පොලිස් නිලධාරීන් ද කැඳවා ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

කෙසේවෙතත් පාස්කු කොමිසමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබුණි.