ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන් බරපතළ ගැටුම්

0
ජනාධිපති අපේක්ෂක ධූර

ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන්  දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක ධූර සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළ කිරීම සහ ඒ ඒ පක්ෂ තුළම අපේක්ෂක ධූර සම්බන්ධයෙන් පිල් බෙදීම් ඇතිවීම මෙම ගැටුම්කාරී තත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  ජනාධිපති ධුරයට තරග වැදීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පක්ෂය සහයෝගය ලබා දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාවගේ පක්ෂ එකඟත්වයකට පැමිණෙන්නේ නම් දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාද ජනාධිපති ධූරයට තරඟ වැදීමට සූදානම් බව  ප්‍රකාශ කළේය. එහෙත් ඔහුට අපේක්ෂක ධූරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ම කැමැත්ත නොදක්වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. යෝජනා කර ඇති එම නම් කිහිපය අතර  ප්‍රසිද්ධ කෝටිපති ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුවන ධම්මික පෙරේරා මහතාගේ නමද වෙතියි  ඔහු සඳහන් කළේය. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.