යුක්තිය මෙහෙයුම යටතේ විමර්ශන බව පවසමින් වෙළෙඳසලක් කොල්ලකයි

0
යුක්තිය මෙහෙයුම

යුක්තිය මෙහෙයුම යටතේ විමර්ශන සිදු කරන බව පවසමින් වෙළෙඳසලක් කොල්ල කෑ නාවික හමුදා සෙබළුන් සිව් දෙනෙකු වැල්ලවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ වෙළඳසල් පරීක්ෂා කරන බව පවසමින් පැමිණි පිරිසක් සිය වෙළෙඳසලෙන් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් සහ ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට වැල්ලවත්ත ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරුවෙකු ඊයේ (03) පස්වරුවේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අදාළ ව එම ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු වැල්ලවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, ඔවුන් නාවික හමුදා සෙබළුන් බවයි.

මෙම සැකකරුවන් සිව් දෙනා සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු ද කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ වී ඇති අතර, සැකකරුවන් වෙළෙඳසලට ඇතුළු වී ඇත්තේ, එම සෙබලාගේ හැඳුනුම්පත ඉදිරිපත් කරමිනි.

කෙසේ වෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පළා ගිය සෙබළා අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයට භාර වී ඇති අතර, පසු ව සැකකරුවන් වැල්ලවත්ත පොලීසියට භාර දී තිබේ.

අනෙක් සැකකරුවන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහි දී ඔවුන් හෙට දිනය දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ පොලීසියට අවසර දී ඇත.

එසේම අධිකරණය සැකකරුවන් සියලු දෙනාගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට ද පොලිසියට නියෝග කර තිබේ.

මේ අතර, මීටියාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන ‘බබී’ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම වැටලීමේ දී නීති විරෝධී මත්පැන් ලීටර් හතළිහක් ද පොලිස් භාරයට පත් ව ඇත.

මෙම සැකකරු විසින් නිවසේ ඔට්ටු තරග ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල යෙදී තිබෙන අතර, ඔහුගේ නිවස වටා ආරක්ෂිත කැමරා සහ විවිධ ආරක්ෂිත ක්‍රම සහ පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මේ අතර, යුක්තිය මෙහෙයුමට සමගාමී ව මහනුවර පොලිස් කොට්ඨාසයේ ජනතාව දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හතරලියද්ද නගරයේ දී සිදු කෙරිණි.

මෙහි දී ත්‍රීරෝද රථ ඇතුළු මගී ප්‍රවාහන රථවාහනවල විශේෂ අංකයක් සහිත ස්ටිකරයක් ඇලවීම හා ස්ටිකර් බෙදා දීම ද සිදු කෙරිණි.