වැඩබලන පොලිස්පති තනතුරෙන් ස්ථිර පොලිස්පති ධූරය ලබාගැනීම සඳහා දේශබන්දුගෙන් මාධ්‍ය මෙහෙයුමක්

0
වැඩබලන පොලිස්පති

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශයේ විධායක සභික, පක්ෂ ජාතික මණ්ඩල සාමාජිකා ධාන්‍යා සමරසිංහ මහත්මිය විසින් සංවිධානය කරන ලද කුඩා ජන හමුවක් අඹතලේ, පාසල් පටුමගෙහිදී පැවැත්විණි.

එම පක්ෂ හමුවෙන් පසුව මාධ්‍යවේදීන් හමුවූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැට් බදු වැඩි කිරීම පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, රටේ ණය ප්‍රශස්තකරණය හෙවත් දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාදය සහ එහි පැවති අඩුපාඩු නිසා පොලී වියදම් වැඩි වූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණයේදී අධික ලාභ ලබන ආයතන වලින් සහ පුද්ගලික ආයෝජකයින්ගෙන් බදු අය නොකිරීම ද බදු වැඩි කිරීමට හේතුවක් වූ බවත්ය.

“ඩිජිටල් වේදිකාවක් සකසා අධික ලාභ ලබන දැනට බදු පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගෙන් බදු එකතු කර ගැනීමට කටයුතු කළානම් කෙටි කාළයක් තුළ රටෙහි ආදායම 50% කින් වැඩි කර ගත හැකි”

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නම පැන්ඩෝරා පේපර්ස් වල ඇතුලත්ව ඇති බවත් ඒවා අසත්‍ය නම් ඒ සඳහා අමාත්‍යවරයාට ඊට එරෙහිව නඩු පැවරීම සිදු කළ හැකි බවත් ප්‍රකාශ කළ චම්පික රණවක මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.

මාධ්‍ය වෙත වැඩිදුර අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා”

ප්‍රශ්නය
අලුත් වැඩබලන පොලිස්පතිතුමාගේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර
“ඇත්තටම එකපාරටම කොහොමද මේ කුඩු මතුවෙන්නේ? කලින් පොලීසිය හිටියේ නැද්ද? ඒ පොලිසිය තියෙන කාලේ මත්ද්‍රව්‍ය තිබුනේ නැද්ද? පොලීසියේ වගකීමනේ කුඩු නවත්තන එක. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසයි මත්ද්‍රව්‍ය සංසරණය කරන්නට යොදාගන්න කුඩා ඉත්තොයි විතරක් නෙවෙයි ඒවා ගෙන්නවන තෝරු, මෝරුයි කියලා කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. අපට තාම නම් ඒ තෝරු, මෝරු ඇල්ලුවා කියලා කිසිම තොරතුරක් ලැබුණේ නෑ. මේක එක්තරා ආකාරයක මාධ්‍ය සංග්‍රාමයක්, වැඩබලන පොලිස්පති තනතුරෙන් ස්ථිර පොලිස්පති ධූරය ලබාගැනීම සඳහා.

ඒ වගේම විශේෂයෙන්ම අධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවකින් වරදකාරයෙක් වූ අයෙක්ට පොලිස්පති ධූරය ලබාදෙනවා කියන්නේ, මුළු මානව හිතවාදී නීති පද්ධතියට කරන ලද බලගතු අවමානයක්.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ අපිට මතකයි ‘මතට තිත’ ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලයේ මත්කුඩු ජාවාරම්කාරයින්ට මරණ දණ්ඩනය පවා නියම කළා. ඒ වගේ ගොඩක් දේවල් ඉතිහාසය පුරා ම සිද්ධ වූ දෙයක්. මේවා අමුතු අලුත් දේවල් නෙමෙයිනේ.”

මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණ ජාතික සභාවේ ලේකම්, මධ්‍යම කාරක සභික, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කලහේපතිරණ, එක්සත් ජනරජ පෙරමුණේ නියෝජ්‍ය ලේකම් – කාන්තා අංශය (ජනරජ කාන්තාවෝ) ප්‍රියදර්ශනී ආරියරත්න යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.