රටපැන සිටින මත්ද්‍රව්‍ය විකුනන දෙසොහොයුරන්ගේ රුපියල් කෝටි 13කට අධික දේපළ හෙළිවේ

0
රුපියල් කෝටි 13කට අධික දේපළ

විදෙස්ගතව සිටින තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ රුපියල් කෝටි 13කට අධික දේපළ අනාවරණ කරගන්නට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය  සමත්වුණි.

ඒ “යුක්තිය” මෙහෙයුම අද ක්‍රියාත්මක වූ පස්වන දිනයේදීය.

ඒ අනුව කොළඹ උතුර කොට්ඨාසයේ මෝදර පොලිස් බලප්‍රදේශය තුළ විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණි.

ඊට පොලිස් නිලධාරින් 66 ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 06ක් හා යුද හමුදා නිලධාරීන් 54 දෙනෙක් එක්ව සිටියහ.

මෙහිදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 10 දෙනෙකු හා සැකපිට තවත් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

එමෙන්ම තරුණයින් දෙදෙනෙකු පුනරුත්ථාපනයට යොමු කිරීමටද කටයුතු කෙරුණි.

අද අලුයම කුරුඳුවත්ත ටොරින්ටන් හැටේවත්ත සහ බෞද්ධාලෝක මාවතේ පිඩලිවත්ත ප්‍රදේශවලද මෙහෙයුමක් දියත් කෙරුණි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 26කි.

ඒ අතර වාලම්පුරි 2ක් සමග එක් පුද්ගලයෙක්, හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙක්, අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් හා ගංජා සමග 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය හා ඒකාබද්ධව කොළඹ ජම්පටා වීදිය සහ රත්නම්පාර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු වෙරෙළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි මවක් සහ ඇගේ පුත්‍රයා, හෙරොයින් ග්‍රෑම්15ක්, ජාවාරමෙන් උපයාගත් ලක්ෂ තුනකට අධික මුදල් සහ තියුණු ආයුධ කිහිපක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර යුක්තිය මෙහෙයුමේ අනෙක් පියවරක් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා උපකාරක පන්ති අවට මීටර් 500ක් දුර ඇති වෙළෙඳසැල් හා ඖෂධ හල් පරික්ෂා කිරීම අද ආරම්භවුණි.

ඒ අනුව අද ප්‍රදේශ කිහිපයකම එම වැටලීම් ක්‍රියාත්මක වු අතර ජනතාව දැනුවත් කිරීමට ද පොලීසිය කටයුතු කළේය.

මෙවන් පසුබිමක මාතලේ පොලීසියට ලැබුණු තොරතුරක් මත මාතලේ කිරිමැටියාව ප්‍රදේශයේ පාසලකට යාබඳ නිවසක් පොලිසිය හා යුද හමුදාව එක්ව අද පරීක්ෂාවට ලක් කළේය.

එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5567ක් සොයාගැනුණි.

නිවසේ සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර විදෙස්ගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සුරංජ සංජය විදාණපතිරන සහ ඔහුගේ සහෝදරයා වන සුරේන් මදුරංග විදාණපතිරන යන සැකකරුවන්ට අයත් රුපියල් කෝටි 13කට අධික දේපළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් තහනම් කරනු ලැබීය.

එම සැකකරුවන්ට අයත් තහනමට ලක්කළ දේපළ අතර රුපියල් ලක්ෂ 70ක බහුදින යාත්‍රාවක්, KDH වර්ගයේ වෑන් රථයක් CHR වර්ගයේ මෝටර් රථයක්, WAGON R වර්ගයේ මෝටර් රථයක් හික්කඩුවේ පිහිටි තට්ටු 03ක ගොඩනැගිල්ලක්, මහමෝදර පාලම අසල මහල් 4ක සහ මහල් 3ක නවාතැන්පොළවල් දෙකක් සහ ඉඩම් 2ක් වේ.

එමෙන්ම සුරංජ සංජය විදාණපතිරන නැමති සැකකරුගේ බිරිඳගේ නිවුන් සහෝදරියගේ සන්තකයේ තිබූ රත්‍රං පවුම් 30ක්ද එම නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

මහමෝදර, හීනැටිගල, හික්කඩුව සහ හබරාදූව යන ප්‍රදේශවලදී මෙම වැටලීම් සිදුකර තිබූ අතර එය නිරීක්ෂණයට ‍වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා එක්ව සිටියහ.