කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම වැඩි කරන හැටි පාඨලි චම්පික රණවක කියයි

0
පාඨලි චම්පික රණවක

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය.

මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම නිවැරදිව සෙවීමට ආණ්ඩුව බයක් දක්වන බවත් ඒ මහතා කීය.

ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරදි ආකාරයට වාර්තා නොවීම ගැටලුවක් වී ඇති බව කී පාඨලි චම්පික රණවක මහතා වෛද්‍යවරයාගේ වැටුප වාර්තා වීම නිසා එයට බදු ගැසුවද ධනපතියාගේ ආදායම වාර්තා නොවීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව ද සඳහන් කළේය.

ධනපතියාගේ ආදායම වාර්තා කරන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් අලුත් බදු අවශ්‍ය නොවන බවත් ජාවාරම්කාරයෝ තුන්හතර දෙනෙක් හොඳට හම්බ කරගෙන බදු නොගෙවන බවත් ඒ මහතා කීය.

රුපියල් කෝටි 5 ට වැඩියෙන් බදු ගෙවන පුද්ගලයන් 2500 ක් පමණ ද, එම ගොඩට හසුනොවූ පුද්ගලයන් 2500 ක් පමණ මෙරට සිටින බවත් ඔවුන්ගේ නියම ආදායම වාර්තා වන ක්‍රමයක් මාස පමණ කාලයකින් සකස් කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ළදරුවාගේ සිට මහල්ලා දක්වා සියලුම පුද්ගලයන්ගෙන් ලබන ජනවාරි මස සිට ආණ්ඩුව බැට් බද්දෙන් පමණක් රුපියල් 30,000 ක් බලාපොරොත්තු වන බවත් ආදායම අඩු වී තිබෙන ජනතාවට එවැනි බද්දක් ගොවිය හැකිද යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.