රියැලිටි සංගීත තරගාවලියක ජනප්‍රිය තරඟකරුවෙක්ගේ බැංකු ගිණුමට සුද්දයක් දුන්න අක්ක නගෝ

0
රියැලිටි සංගීත තරගාවලියක

මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් මඟින් සංවිධානය කරනු ලබන ජනප්‍රිය රියැලිටි සංගීත තරගාවලියක රතිදු විහඟ කැපී පෙනෙන තරුවකි. විසි හැවිරිදි විහඟ මහවැව කුඩාමඩුවැල්ල ගම්මානයේ සිට රියැලිටි තරගාවලියට එක්වන්නේ එහි හතරවැනි වටයේ තරගකරුවෙක් ලෙසිනි. තවමත් තරගාවලියේ රැඳී සිටින විහග කොයි කාගේත් විශේෂ අවධානයට යොමුවන්නේ ඔහු ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙක් වූ බැවිනි. විහඟට ලියුකේමියා රෝගය වැලඳී ඇතැයි හඳුනා ගන්නේ ද 2021 වසරේදීය. එතැන් පටන් ඔහු සටන් කළේ ගායන තරුවක් වන්නට නොව සිය ජීවිතය රැක ගන්නටය. වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් නිර්දේශ කර ඇත්තේ හැකි ඉක්මනින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමකට යා යුතු බවය. ඒ වෙනුවෙන් වැය වෙතැයි ගණන් බලා ඇති මුදල ද සුළු පටු නැත. ඒ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඒ වෙනුවෙන් වැය වෙතැයි වෛද්‍යවරු සඳහන් කර ඇති බැවිනි. මේ මුදල ඇති හැකි අයට සුළු මුදලක් වූවත් විහඟට එම මුදල සිහිනයකි. ගායනයට උපන් හපන්කමක් ඇති විහඟ රියැලිටි තරගාවලියට පැමිණෙන්නේ ද ඒ ඔස්සේ හෝ ජනතා අවධානය තමා වෙත යොමු කරගෙන ජීවිතය රැක ගැනීමට අවශ්‍ය සැත්කමට මුදල් ටිකක් රැස් කර ගන්නටය. ඒ වෙනුවෙන් විහඟගේ මිතුරු මිතුරියන් ද පෙළ ගැසී සිටියේ විවිධ වැඩසටහන් සංවිධානය කරමිනි. ඒ අතර ආධාර ටිකට් පතක් ද මුද්‍රණය කර එය ද අලෙවි කරන්නට වූයේ මුදල් රැස්කර ගැනීම වෙනුවෙන් වෙන කරන්නට කිසිවක් නොවූ තැනය.

රියැලිටි වැඩසටහන හේතුවෙන්ම විහඟ බොහෝ දෙනා අතරට ගියේය. ඔහුගේ බැංකු ගිණුමට ටිකෙන් ටික මුදල් ද බැර වන්නට ගත්තේය. ඒ ඔහු මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද තමාට උදව් කරන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබෙමිනි. නොවැම්බර් මාසය මැද වන විට ඔහුගේ ගිණුමට බැරවී තිබුණු මුදල රුපියල් ලක්ෂ 50 සීමාව පැන්නේය. ඒ වන විටත් ඔහුගේ සැත්කම කිරීමට වෛද්‍යවරු දින නියම කරගෙන තිබුණේ දෙසැම්බර් 12 වෙනිදාටය. ඒ බව විහඟ සිය මුහුණු පොතේ මිතුරන්ට කී විට එම මිතුරන් තව තවත් ඔහුගේ බැංකු ගිණුමට මුදල් බැර කරමින් අපේක්ෂාවේ පහන් දල්වන්නට වූයේය.

එදා නොවැම්බර් 26 වෙනිදාය. විහඟ ඒ වන විටත් පරිහරණය කරමින් තිබුණු 07736155740 දුරකතන අංකය එකවරම ක්‍රියා විරහිතව ගියේය. ඒ දුරකතනයේ දෝෂයක් නිසා නොව විසන්ධි වන්නේ දුරකතන සම්බන්ධතාවය. මුලින් ඔහු සිතන්නේ දුරකතනයේ දෝෂයක් වන්නට ඇති බවය. විසන්ධි වී ඇත්තේ දුරකතන සම්බන්ධතතාව බව විහඟ දැන ගන්නේ එහිදීය.

දුරකතන සම්බන්ධතාව හිටි හැටියේම විසන්ධි වීමට හේතුව විහඟ අදාළ දුරකතන සමාගමේ පොදු දුරකතන අංකයට ඇමතුමක් ගෙන විමසීමේදී ඔහුට ඒ තුළින් ලැබෙන්නේ හිතා ගන්නත් බැරි පිළිතුරකි. ඒ එම දුරකතන අංකයේ හිමිකාරිය විසින් දුරකතනය සොරාගෙන ඇතැයි පවසමින් පැවති සිම්පතේ සම්බන්ධතාව විසන්ධි කර අලුත් සම්බන්ධතාවක් ලබාගෙන ඇති බවය. දුරකතන සමාගමේ රාගම පැත්තේ පිහිටි ඒජන්සියකට ගොස් තරුණියක් එසේ අලුත් සිම්පතක් ලබා ගෙන ඇත්තේ විහඟ නමින් දුරකතන සම්බන්ධතාව පැවතිය ද කාලයක් තිස්සේම එම දුරකතන සම්බන්ධතාව ඇත්තේ තමා ළඟ බව කියමිනි. එය සනාථ කිරීමට ඇය විසින් විහඟගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් මෙන්ම විහඟගේ අත්සන සහිත ලිපියක් ද සිම්පත ලබා ගැනීමට පෙර දුරකතන සමාගම් ඒජන්සියට ලබාදී තිබුණාය. අලුත් සිම්පතක් එම දුරකතන සමාගම මඟින් ඒ තැනැත්තියට ලබාදී ඇත්තේ එම ලිඛිත තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

දුරකතන සමාගමේ පාරිභෝගික නිලධාරීන්ට විහඟ පැහැදිලි කර දෙන්නට වූයේ අදාළ දුරකතනය තමා විසින් පරිහරණය කරන එකක් මිස වෙනත් අයකුට ලබාදී නොමැති බවය. අවසානයේදී විහඟට සිදු වන්නේ ඊට පසුදින වෙන්නප්පුවේ ඇති දුරකතන සමාගමේ ඒජන්සියට ගොස් රාගමින් කාන්තාවක් විසින් ලබා ගත්තේ යැයි කියනු ලබන සිම්පතේ සම්බන්ධතාවය විසන්ධි කර නැවත අලුත් සිම්පතක් ලබා ගන්නටය. එසේ ඔහු විසින් සිම්පත නැවත සක්‍රිය කර වැඩි වේලාවක් ගත නොවීය. නැවතත් සිම්පත අක්‍රිය වන්නේ එදින සවස 3.45ට පමණය. විහඟට නැවත සිදු වන්නේ අදාළ දුරකතන සමාගමේ ඒජන්සියේ පිහිට පැතීමටය. එවර ද කියැවෙන්නේ පෙර මෙන්ම දුරකතන සිම්පත කිසියම් අයෙක් විසින් විසන්ධි කර අලුත් සිම්පතක් ලබාගෙන ඇති බවය. නමුත් විනාඩි කිහිපයක් ඇතුළත නැවතත් සම්බන්ධතාවය ලබාදීමට අදාළ දුරකතන සමාගමේ නියෝජිතයන් කාරුණික වී තිබුණේය. එදා මුළු දවසම විහඟට ඔට්ටු වන්නට සිදු වන්නේ ඒ වෙනුවෙනි. විහඟ එම දුරකතන සම්බන්ධතාව නැවත ලබා ගැනීමට එදා දැඩි වෙහෙසක් දරන්නේ මුහුණු පොතේ පවා ඔහු ප්‍රසිද්ධ කර ඇත්තේ එම දුරකතන අංකය වූ බැවිනි.

ලොකු සටනකින් පසු දුරකතන සම්බන්ධතාවය යථාවත් කර ගත්තා පමණි. සිය බැංකුවෙන් කෙටි පණිවුඩ දිගට හරහාට ලැබෙන්නට ගන්නේ බැංකු ගිණුමේ ඇති මුදල් විවිධ ගනුදෙනු සඳහා හුවමාරුවීම්වලට අදාළවය. බැංකු ගිණුම විවෘත කළ දා සිට සතෙන් සතේ ඊට මුදල් බැරවූවා මිස සත පහක් ඔහු එම ගිණුමේ මුදල් හෙල්ලුවේ නැත. ඒ එම ගිණුම ඔහු විවෘත කරනු ලැබුවේ සැත්කම වෙනුවෙන් වූ නිසාය. ලක්ෂ දෙක තුනවැනි මුදල් ප්‍රමාණවලින් එහි ඇති මුදල් ගනුදෙනු සිදුවන බව කෙටි පණිවුඩ ලැබෙන විට විහඟට හිතා ගන්නත් බැරි විය. ඔහු ජංගම දුරකතනයෙන්ම සිය බැංකු ගිණුමේ ශේෂය පරීක්ෂා කර බැලුවේය. විහඟට හීන් දහඩිය දැමුවේය. ටික වේලාවක් ඔහුට කතා කර ගන්නට බැරිව බිරාන්තව සිටියේය. ඉහළට ගත් හුස්ම පොද පහතට හෙළන්නට පවා ඔහුට අමතකව ගියේය. 28 වෙනිදා උදෑසන වන විට බැංකු ගිණුමේ එකතුවී තිබුණු රුපියල් ලක්ෂ 78කින් ඉතිරිව තිබුණේ රුපියල් ලක්ෂ 40ක් පමණි. රුපියල් ලක්ෂ 38ක්ම විටෙන් විට ගිණුමෙන් ඇද තිබුණේ 27 වෙනිදාත් 28 වෙනිදාත් දින දෙක තුළදීය. එම මුදල් ගිණුමෙන් ඇද තිබුණේ මාර්ගගත ක්‍රමයටය. ඒ විවිධ ගෙවීම් සඳහාය. ඒ රන් භාණ්ඩ මිලදී ගැනීම් සඳහා ලක්ෂ 06ක්, දුරකතන මිලදී ගැනීමට ලක්ෂ 03ක්, රෙදිපිළි මිලදී ගැනීමට ලක්ෂ දෙක තුනක්, සුපිරි වෙළඳ සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට තවත් ලක්ෂ ගණනක් ලෙස එම මිලදී ගැනීම් කර තිබුණේය. ඒ හැරුණු කොට බැංකු ගිණුම් කිහිපයකට ද මුදල් හුවමාරු කර තිබුණේය.

විහඟ අගහරුවාදා උදෑසනම බැංකුවට ගියේය. ඒ ගොස් සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බැලුවේය. එහිදී අනාවරණය වන්නේ බැංකු ගිණුම හැක්කර එහි ඇති මුදල් මිලදී ගැනීම් සඳහා මාර්ගගත ක්‍රමයට ගෙවීම් කර ඇති බවය. විහඟට බැංකුවෙන් උපදෙස් ලැබෙන්නේ මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසය. ඒ හැරුණු කොට බැංකුවට මේ ගැන කරන්නට වෙන කිසිවක් නොවීය. ඔවුන්ට කළ හැකි වූ එකම කාර්ය වූයේ අදාළ ගිණුමෙන් මාර්ගගත ගනුදෙනු සඳහා ඇති පහසුකම් අත්හිටුවීම පමණි.

බැංකුවෙන් ලද උපදෙස්වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යාමට විහඟ වෙන් කරනු ලබන්නේ ඊට පහුවෙනිදාය.

“ඔයාගේ නංගි ඇවිත් ඉන්නවා ඔය තියෙන සිම් එක අයින් කරල අලුත් සිම් එකක් ගන්න. ඔයාගේ ලියුමකුත් තියෙනවා. ඒ නිසා සිම් එකක් දෙන්නද?“ දුරකතන සමාගමේ කඩුවෙල පිහිටි ඒජන්සියකින් විහඟට මෙම දුරකතන ඇමතුම ලැබෙන්නේ මේ සිදුවීම් මාලාව අතරතුරදීය.

“ මට නංගිලා නැහැ. වැරදීමක් වෙන්න ඇති.“ විහඟ ඊට ලබා දෙන්නේ එවැනි කෙටි පිළිතුරකි.

මහවැව සිට කොළඹට පැමිණෙන විහඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් හමුවන්නේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියය. විහඟට සිදුවී ඇති අපරාධය ඇසීමේදී ලකී රන්දෙණියගේ නෙතට කඳුළු ද උනා තිබුණේය. ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී සිටින විහඟට ජීවිතය ගැන යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාව ලැබෙන ශල්‍යකර්මය සිදු කිරීමට විහඟට තවත් එතරම් දින ගණනාවක් නොවීය. මුහුණු පොතින් ආයාචනා කර පරිත්‍යාගශීලීන්ගෙන් සහ ගමේ හිත මිතුරන් විවිධ වැඩසටහන් කරමින් රැස්කර එක්කාසු කර දුන් ලක්ෂ 78ක මුදලකින් ලක්ෂ 38ක්ම ඒ වන විටත් තිබුණේ හොරාගෙනය. ජීවිතය රැක ගැනීමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහාමාරක මුදලක් සොයා සටනක නිරත වූ ඔහුට දැන් රුපියල් කෝටියකට වැඩි මුදලක් නැවත සොයා ගැනීමට තිබීම පවා ජීවිතය ගැන ගෙන දුන්නේ ලොකු අභියෝගයකි. ඒ ගැන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ විශේෂ අවධානයට ලක්වන්නට විය. එබැවින් ඔහු විහඟගේ බැංකු ගිණුමට රිංගා මුදල් සොරාගත් අපරාධය ගැන කඩිනම් විමර්ශනයක් පැවැත්වීමේ වගකීම පවරන්නේ සහකාර පොලිස් අධිකාරිනී චන්දිමා අරුමක්පෙරුමගේ අධික්ෂණයේ ඇති අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි අංශයටය. එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උචිත සුබසිංහ වැඩේට බසින්නේ ඔහු යටතේ සිටින උප පොලිස් පරීක්ෂකවරුන් වන විනෝත්, දිලුම්, උප පොලිස් පරීක්ෂිකාවක් වන චම්පමාලි, සැරයන් ප්‍රේමසිරි, කොස්තාපල්වරුන්වන දිල්ෂාන්, ජයන්ත, පැතුම්, ධනුෂාන්, කෞෂල්‍ය හා කාන්තා කොස්තාපල් ඉෂාරා යන නිලධාරීන් සමඟිනි.

මෙහිදී උචිත සුබසිංහගේ විශේෂ අවධානයකට යොමු වන්නේ දුරකතන සමාගමේ කඩුවෙල පිහිටි ඒජන්සියෙන් විහඟට ලද දුරකතන ඇමතුම කෙරෙහිය. එම ඇමතුම ගැන විහඟට එතරම් විශේෂත්වයක් නොවූවත් එය ඔහුගේ කටින් පිටවූයේ විමර්ශන නිලධාරීන් සමඟ කතාබහක නිරතව සිටියදීය. එම ඇමතුම ලද අංකය විහඟ සතුව තිබුණු බැවින් උදිත සුබසිංහ එම අංකයට ඇමතුමක් ගන්නේ යම් හෝඩුවාවක් ඒ තුළින් සොයා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

“ඔය කියන සිම් එක ළඟ ළඟ දවස් දෙකක්ම බ්ලොක් වීමක් වෙලා තිබ්බ නිසා පොඩි සැකයක් ආවා. ඒ නිසයි සිම් එකේ අංකයට කෝල් එකක් දීල ඇහුවේ. ගර්ස්ලා දෙන්නෙක් ආවේ. එක් අයෙක් කිව්වා අයියාගේ ෆෝන් එක එයයි පාව්චිචි කරන්නේ කියල. සැකයක් ඇති වෙච්ච නිසා ඒ දෙන්නගේ ෆෝටෝ එකකුත් මම ගහ ගත්ත. එයාලට හොරෙන්.“ යැයි දුරකතන ඒජන්සියෙන් ලැබෙන්නට වූයේ එවන් කතාවකි.

විමර්ශන නිලධාරීන්ට ඒ ලද තොරතුර ඉහළටත් උඩින්ය. උචිත සුබසිංහ ඇතුළු විමර්ශන නිලධාරීන් ඒත් එක්ම කඩුවෙලට යන්නේ දුරකතන සමාගමේ එම ඒජන්සිය සොයාගෙනය. එහි නිලධාරීන් හමු වූ විමර්ශන නිලධාරීන් ආරක්ෂක කැමරා පද්ධතිය පවා පරීක්ෂා කර විහඟගේ සිම්පත මාරු කර ගැනීමට පැමිණි තරුණියන්ව රූපයෙන් හඳුනා ගත්තේය. ඒ ඔවුන්ගේ ඡායාරූප පවා සියතට ගනිමිනි. ඡායාරූපවලට අනුව එම තරුණියන් ළාබාල පෙනුමක් ඇති වැඩි වයසක් නොමැති අය බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. අනතුරුව සිම්පත් මාරු කළ දුරකතන සමාගමේ රාගම පිහිටි ඒජන්සියට ද විමර්ශන නිලධාරීන් ගියේය. එහි ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදීද පෙනී ගියේ එතැනට ද ගොස් ඇත්තේ මෙම තරුණියන් දෙදෙනාම බවය. අනතුරුව විමර්ශන නිලධාරීන් සොයා යන්නේ රන් භාණ්ඩ, දුරකතන, රෙදි පිළි ඇතුළු විවිධ භාණ්ඩ මිලදී ගෙන මාර්ගගත ක්‍රමයට ගෙවීම් කළ වෙ‍ෙළඳසැල් සොයාය. එම වෙ‍ෙළඳ සැල්වල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීම්වලින් පවා පෙනී යන්නට වූයේ ඒ හැම තැනකම මෙම තරුණියන් දෙදෙනා සිටින බවය.

විමර්ශන නිලධාරීන්ට ඒ අනුව පෙනී යන්නේ විහඟගේ බැංකු ගිණුමෙන් මුදල් ඇද ඇත්තේ මෙම තරුණියන් දෙදෙනා බවය. එහෙත් ඒ අයගේ අනන්‍යතාව සොයා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ සඳහා තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ ඔවුන්ව කොටු කර ගැනීමට ඒ වන විට තිබුණු එකම මඟ එය වූ බැවිනි. ඒ ඔස්සේ මෙම අපරාධයට සම්බන්ධව සිටින්නන් යන එන තැන් මෙන්ම ඉන්න හිටින ස්ථාන ගැන පවා නිරීක්ෂණය කිරීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට හැකියාවක් ලැබුණේය. වෑබඩ ප්‍රදේශයේ වැටලීමක් කරමින් විහඟගේ බැංකු ගිණුමට රිංගා මුදල් ගැරූ තරුණියන් දෙදෙනා ඇතුළු තිදෙනෙක් පසුගිය 06 වෙනිදා කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වන්නේ ඒ අනුවය. ඒ අය එසේ කොටුවන විට විහඟට පණ මෙන් සිටි ඔහුගේ ලොකු තාත්තා අකාලයේ මියැදෙන්නේ ශල්‍යකර්මයට රැස් කළ මුදල් සොරා ගැනීම නිසා ඒ ගැන කෑමක් බීමක් නොමැතිව හූල්ලමින් සිටය.

විහඟගේ බැංකු ගිණුමට රිංගා මුදල් සොරාගත් තරුණියන් දෙදෙනා සමඟ කොටු කරගත් තුන්වැන්නා තරුණියන් දෙදෙනාගේ මවගේ අනියම් සැමියාය. ඔහු සොරකම් සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විටෙන් විට බන්ධනාගාරගතව සිට ඇති අයෙකි. අවිස්සාවේල්ල සහ මහියංගණය පැත්තේ පදිංචිකරුවෙක් බව කියන ඔහු මෙම ගේමේ සිටින එක් ඉත්තෙක් පමණි. තරුණියන් දෙදෙනාගේ මවත් අවිස්සාවේල්ලේය. ඇයට අනියම් සැමියා හමුවී ඇත්තේ ස්පා එකකදීය. ඒ ඇය ස්පා එකක සේවය කර ඇති තැනැත්තියක් වූ බැවිනි.

ඇයට දරුවන් සිවු දෙදෙනෙකි. සිවු දෙනාම දියණියරුවන්ය. අත්අඩංගුවට ගනු ලබන්නේ 22 හැවිරිදි පවුලේ වැඩිමලා සහ 19 හැවිරිදි පවුලේ දෙවැන්නාය. තුන්වැන්නා 16 හැවිරිදිය. සිවු වැන්නා 15 හැවිරිදිය. වැඩිමලා අධ්‍යාපනය ලබා ඇත්තේ 10 පන්තියට පමණි. සෙසු දියණිවරු තිදෙනාම දෙකේ පන්තියෙන් එහාට අධ්‍යාපනයක් ලබා නැත. අඩුම තරමින් ඒ අයට අකුරු ලියන්න කියවන්නවත් බැරිය. මෙම දියණිවරු සිවු දෙනාගේ පියා මවත් සමඟ ඔවුන්ව අතහැර ගොස් ඇත්තේ බාලම දරුවා ඉපදෙන්නත් පෙරය. බාල දරුවන් දෙදෙනා පියාගේ හැඩරුවක්වත් දන්නේ නැත. ඒ ඔවුන් සිය පියාව ඉපදුණු දා සිට දැක නොමැති බැවිනි.

විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම දියණිවරුන්ගේ මවට අනියම් සැමියාව මුණ ගැසී ඇත්තේ තෙවසරකට පමණ පෙරය. ඔවුන් එකට ජීවත්වීමට පටන් ගැනීමත් සමඟ මව ස්පා රැකියාවට සමුදී ඇත්තේ අනියම් සැමියා සිය දියණිවරුන් සමඟ එක්ව අමුතු ගේමක් ගැසීමට පටන් ගැනීමත් සමඟිනි. ඒ බැංකු ගිණුම්වලට රිංගා එම ගිණුම් ශුද්ධ කිරීමකි. විහඟගේ බැංකු ගිණුමටත් සිදු වූයේ එවැනි දෙයකි. මේ අය විහඟගේ බැංකු ගිණුම පමණක් නොව, විහඟ වැනි රෝගීන් 11 දෙනෙකුගේම බැංකු ගිණුම්වලට ශුද්ධ දමා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් ශුද්ධ කර ඇති බව දැනටමත් හෙළිවී හමාරය. එසේ බැංකු ගිණුම් හිස්කර ලබා ගත් මුදල්වලින් මෝටර් රථයක් පවා මේ අය මිලදී ගෙන තිබී විමර්ශන නිලධාරීන් සොයා ගත්තේය.

මෙම පිරිසට දැන් ස්ථීර පදිංචි ලිපිනයක් නැත. තැන තැන රැඳී සිටින්නේ කුලියටය. වෑබොඩ නිවසේ රැඳී සිට ඇත්තේ ද මාසිකව රුපියල් 20,000ක කුලියකටය. එම නිවෙසට ඇවිත් තවමත් මාසයකට වැඩි කාලයක් ගතවී නැත. ඔවුන්ගේ සැලසුම වී තිබී ඇත්තේ තවත් මාසයකින් එතැනින් තවත් පළාතකට යන්නටය.

මේ අය බැංකු ගිණුම්වලට රිංගන ගේම ගසන්නේ හරි අපූරු විදිහකටය. විහඟට ගේම ගසා තිබුණේ ඔහුටත් නොදැනෙන්නටය. විහඟගේ දුරකතනය අක්‍රිය වීමට දින කිහිපයකට පෙර ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දෙන්නේ මෙම කල්ලියේ සිටින වැඩිමහල් දියණිය විසිනි. “මගේ ජීවිතේ බේරගන්න පුළුවන් හැමෝම උදව් කරන්න“ යැයි සඳහන් කරමින් විහඟ මුහුණු පොතේ පළ කර තිබුණු දැන්වීමකින් ඇය දුරකතන අංකය ලබාගෙන තිබුණාය.

“මම ඔයාට ලක්ෂ දෙකක් දෙන්නම්. හැබැයි ඔයා ඇත්තටම ලියුකේමියා රෝගියෙක් ද කියල හොයල බලන්න ඕනේ. ඒ නිසා මට ඔයාගේ බැංකු ගිණුමේ විස්තරයි. වෛද්‍ය වාර්තායි, අයිඩෙන්ටියේ කොපියකුයි වට්ස්ඇප් කරල එවන්න“ විහඟට දුරකතන ඇමතුම ලබාගෙන ඇය පවසන්නේ එවන්නකි.

ලක්ෂ දෙකක් යනු විහඟට ඒ වන විට ලොකු ගාණකි. ඔහු එම ඇමතුම දුන් තැනැත්තියගේ ජංගම දුරකතනයට හැම තොරතුරක්ම වට්ස්ඇප් කළේය. විහඟගේ බැංකු ගිණුමට මේ අය රිංගන්නේ ලබා ගත් එම තොරතුරු ඔස්සේය. එය තාක්ෂණික වැඩකි. එම තාක්ෂණික වැඩේ ගැන මෙහිදී පැහැදිලි කරන්නට නොයන්නේ එය තවත් අයෙකුට මෙවැනි වංචාවක් සිදු කිරීමට රුකුල් දීමක් වන බැවිනි. විහඟගේ ජංගම දුරකතනය පවා ඔවුන් අක්‍රිය කර සිම්පතක් ලබා ගන්නේ මෙම ගේම ගැසීමට හැකියාව තිබුණේ එම දුරකතන අංකය ඔස්සේ වූ නිසාය. සෙසු 11 දෙනාටත් ගේම ගසා තිබුණේ ඒ විදිහටය. විහඟ මෙන් ඒ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බැවින් අක්ක නගෝ දෙදෙනාටත් මවගේ අනියම් සැමියාටත් මේ ගේම ගැසීමට ලැබී ඇත්තේ පිටිවහලකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විශ්වාස කරනු ලබන්නේ මෙතරම් ගේමක් ගැසීමට තරම් මෙම අක්කා නගෝ දෙදෙනාටත් අනියම් සැමියාටත් දැනුමක් මෙන්ම හැකියාවක් නොමැති බවය. මේ අය පිටුපස මහමොළයක් සිටින බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ වන විට විමර්ශන පැවැත්වෙන්නේ එම මහ මොළය හඳුනා ගෙන නීතිය හමුවට ගෙන ඒමටය. එතෙක් අත්අඩංගුවට ගත් අක්කා නගෝ දෙදෙනා සහ අනියම් සැමියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළේය. එහිදී ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ ලබන 19 වෙනිදා දක්වාය.

ගයාන් කුමාර වීරසිංහ