දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරේ

0
දේශබන්දු තෙන්නකෝන්

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 25 වනදා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී තිබුණි.

ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමිනි.

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක සේවා දිගුවක් ඔහුට හිමිවිය.

තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට 24 දිනය දක්වා ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙලෙස සේවා දිගු හිමිව තිබුණේ ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමකය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ පත්වීම සිදුකර ඇති බවය.

ඒ අනුව 2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා අදාළ පත්කිරීම සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේදී එම ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවය.