ගණේමුල්ල සංජීව තමන් සිදුකල අපරාධ වමාරයි

0
ගණේමුල්ල සංජීව

රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන තිබේ.

සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව පසුගිය සැප්තැම්බර් මස 13 වනදා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලීසිය අවසර ගෙන තිබුණි.

ඒ අනුව ගණේමුල්ල සංජීවගෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ  ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

එම ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති අතර, ඊට පුද්ගල ඝාතන 12ක් හා වෙඩිතබා තුවාල සිදුකිරීම් 8ක් ද ඇතුළත් වෙයි.

එමෙන්ම ගණේමුල්ල සංජීවගේ අපරාධ කල්ලියේ සාමාජිකයන් 18 දෙනෙකුද ඔහු නීතිවිරෝධී අයුරින් විදෙස්ගත කර තිබෙන බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබේ.

තවදුරටත් අනාවරණ වූ තොරතුරුවලට අනුව අපරාධ සිද්ධි 9ක් සඳහා භාවිත කළ විවිධ වර්ගයේ ගිනි අවි කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර සැකකරුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහුට අයත් බැංකු ගිණුම්, දේපළ හෝ වාහන පිළිබඳව කිසිඳු තොරතුරක් අනාවරණ කරගැනීමට මෙතෙක් පොලිසීයට හැකිවී නැත.

ඔහුගේ බිරියට අයත් රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් 75,000ක මුදලක් සහ දියණියගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 5ක මුදලක් තැම්පත් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ අනුව පොලීසිය සැක කරන්නේ ඔහු නීතිවිරෝධී අයුරින් උපයාගත් මුදලින් වෙනත් පුද්ගලයෙන්ගේ නමින් දේපළ මිලදී ගෙන ඇති බවය.