ආණ්ඩුකාරවරුන් ගණනාවකට ස්ථාන මාරු නසීර් අහමඩ්ටත් ආණ්ඩුකාරකමක්

0
ස්ථාන මාරු

පළාත් ආණ්ඩුකාරවරුන් ගණනාවකට ස්ථාන මාරු ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි දේශයට වාර්තා වෙයි. ඒ සමඟ පසුගියදා තනතුර අහිමිවූ හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය පිරිනැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ සමඟ නැගෙනහිර වත්මන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයටත් ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර ආණ්ඩුකාර ධූරයටත් පත්කෙරෙනු ඇත. ඒ අතර දැනට බස්නාහිර ආණ්ඩුකාර ධූරය දරන හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට තානාපති ධූරයක් හිමිවීමට ඉඩ ඇති බවද දැනගන්නට තිබේ.

මෙම සියලු පත්වීම් සහ ස්ථාන මාරැ ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට දැනට සාකච්ඡා කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන්ය.

දේශපාලන වාර්තාකරු I